thilini-piumali-janaki-indicted

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාව මුළා කරමින් ඔහු සතු රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිණි ප්‍රියමාලි සහ එහි අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අයට එරෙහි අධිචෝදනා පෙරේදා (11දා) කොළඹ මහාධිකරණයේදී කියවා දෙනු ලැබීය. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, ඒ වන විට රුපියල් විසිදහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර සිටි විත්තිකාරියන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.




මෙහිදී රජයේ අධිනීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස පෙනී සිටි හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා සාක්ෂි ලබා දුන්නේය. විත්තිකාරියන්ගේ ව්‍යාපාරික කාර්යාලය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටුවා තිබීමත්, ඔවුන් අධික මිලකින් යුත් සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීමත් හේතුවෙන් වෙනත් කිසිදු කරුණක් පිළිබඳව සොයා බැලීමකින් තොරව තමන් ඔවුන්ගේ ආයතනයේ මුදල් ආයෝජනය කිරීමට පෙළඹුණු බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම තමන් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානය වෙත ගිය අවස්ථාවලදී මෙරට ඉහළ පෙළේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුද එහි මුදල් ආයෝජනය සඳහා පැමිණ සිටිනු දැකීම නිසා ඔවුන් කෙරෙහි පැවති විශ්වාසය තවදුරටත් දැඩි වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

තමන් මීට පෙර නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිරත වෙමින් විශාල ලාභයක් උපයා තිබූ නමුත්, මෙම කාන්තාවන් දෙදෙනාගේ ව්‍යාපාරික කටයුතුවල මුදල් ආයෝජනය කිරීම නිසා තමන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ බව අසාත් සාලි මහතා වැඩිදුරටත් කියා සිටියේය. එම මුදල් ආයෝජනය කරන අවස්ථාවේදී ඔවුන් කිසිදු නිශ්චිත ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් නොකළ අතර පොලී මුදල් ලබාදෙන දිනයක් පිළිබඳවද සඳහන් නොකළත්, ඔවුන් කෙරෙහි තමන්ට කිසිදු සැකයක් මතු නොවූ බවද හෙතෙම පැවසීය. කොළඹදී 2022 වසරේ මැයි මස 30 වැනිදාත් ජූලි මස 30 වැනිදාත් අතර කාලසීමාව තුළදී අසාත් සාලි මහතාගෙන් රුපියල් මිලියන 80කට අධික මුදලක් වංචනික ලෙස ලබාගැනීම සහ රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් අගරු චෙක්පතක් ලබාදීමේ චෝදනා මත විත්තිකාරියන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.