elderly-allowance-has-not-been-paid-for-the-last-two-months

පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවැති විවාදයකට එක්වෙමින් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ රටේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් ලබාදෙන වැඩිහිටි දීමනාව පසුගිය මාස දෙකක කාලයක සිට මෙතෙක් ගෙවා නොමැති බවයි.

එසේම වැඩිහිටියන්ගේ ඉතුරුම් සඳහා මීට පෙර ලබාදුන් සියයට තුනක අමතර පොලී ප්‍රතිශතයද මේ වන විට අහිමි කර ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය. සමථකරණ සහ සිවිල් හා වාණිජ ආරවුල් සංශෝධිත පනත් කෙටුම්පත මෙන්ම සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය දැක්වීමේ පනත යටතේ වන නියමය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් පාලනය දේශපාලනීකරණය වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ දේශපාලන සබඳතා පිළිබඳව මුළු රටම දැනුවත් බව ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගයේ සක්‍රීය දේශපාලන කටයුතුවල නිරත වූ බවට ඔවුන් දෙදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දී ඇති බවත්, විශ්‍රාම ගැනීමෙන් පසු දේශපාලනය කිරීම ගැටලුවක් නොවන නමුත් එවැනි පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුර වැනි තනතුරුවලට පත් කිරීම ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක් බවත් ඔහු පැවසීය. සභානායක බිමල් රත්නායක මහතා මෙම පත් කිරීම් කතෝලික සභාවේ ඉල්ලීමක් මත සිදු කළ බව පැවසුවද, පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදී මොවුන් දෙදෙනා එය පැහැර හැර ඇති බව විශ්‍රාමික ඩීඅයිජී පාලිත සිරිවර්ධන මහතාගේ ලිපියක සඳහන් වන බවද දයාසිරි ජයසේකර මහතා අනාවරණය කළේය. එමෙන්ම එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම් වළක්වා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පසුවන පුද්ගලයන් ලවා පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ නොහැකි බව පවසන මන්ත්‍රීවරයා, ඒ සඳහා වෙනත් ස්වාධීන විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කළේය.

රටේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින බරපතළ ගැටලුවක් පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු තනතුරු මාස හයක පමණ කාලයක සිට පුරවා නොමැති බව සඳහන් කළේය. මෙය ජනාධිපතිවරයාගේ සෘජු වගකීමක් වන අතර, තනතුරු පත් නොකිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවද ඔහු කියා සිටියේය. මහාධිකරණය මඟින් ශෂී වීරවංශ වැනි අයට වුවමනා පරිදි සිරදඬුවම් ලබා දෙන තෙක් මෙම උසස්වීම් ප්‍රමාද කරන්නේද යන සැකය මතු වන බවත්, විනිසුරුවරුන් පත් නොකිරීම හේතුවෙන් නඩු කටයුතු විශාල වශයෙන් ප්‍රමාද වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. නඩු කටයුතු කඩිනම් කිරීමට නම් වහාම මෙම පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතු බවට ඔහු ඉල්ලීමක් කළේය.




අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, එළඹෙන අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා මෙතෙක් විෂය නිර්දේශ ආවරණය කිරීමට සිසුන්ට අවස්ථාවක් ලැබී නොමැති බව මන්ත්‍රීවරයා පැවසීය. විශේෂයෙන්ම දෙවැනි වර විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා ලැබී ඇත්තේ මාස හතරක වැනි කෙටි කාලයක් බැවින් එය සිසුන්ට සිදුවන විශාල අසාධාරණයකි. තවද, විශ්වවිද්‍යාලවලින් පිට වූ උපාධිධාරීන් බඳවා ගන්නා බවට ඇමැතිවරුන් පොරොන්දු වී විභාග දෙකක් පැවැත්වුවද, ඉන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගන්නේ සියයට 70ක් වන හයදහසක පිරිසක් පමණක් බව හෙතෙම පැවසීය. ඉතිරි වී සිටින 16,000ක පිරිස බඳවා නොගැනීම ගැටලුවක් වන අතර, විභාග ගාස්තු ලෙස දුප්පත් දරුවන්ගෙන් එක් අයෙකුගෙන් රුපියල් 2700 බැගින් රුපියල් කෝටි 47ක මුදලක් අය කරගෙන මෙලෙස අවස්ථාව අහිමි කිරීම බරපතළ අසාධාරණයක් බව පැවසූ දයාසිරි ජයසේකර මහතා, මේ සම්බන්ධයෙන් රජය වහාම නිවැරදි පියවරක් ගත යුතු බවත් මේ පිළිබඳව රජයේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.