minister-wijepalas-revelation-about-sale-in-parliament-today-full-text

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් මගින් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ පතුරා ඇති වැරදි ආරංචි රැසක නිවැරදි තත්වය පැහැදිලි කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය අනුව සොයාගත් කරුනු රැසක්ද අනාවරණය කළේය.
ඔහුගේ සම්පූර්ණ කතාවේ ලිඛිත සටහන පහත පරිදිය.

"සමහර පිරිස් විසින් මේ වන විට විවිධ සාවද්‍ය සහ අසත්‍ය ප්‍රචාරයන් රාශියක් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම, සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම, ඔහුව රඳවා තබා ගැනීම සහ ඔහුට යම් යම් ආකාරයේ වධහිංසා පමුණුවනවා යැයි කියන ව්‍යාජ සහ සාවද්‍ය ප්‍රකාශ හරහා සමාජය නොමඟ යැවීමේ උත්සාහයන් රාශියක් දියත් වී තිබෙනවා. මේ පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කළ යුතු යැයි මා සිතුවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේ මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ සංචාරක හෝටල් සහ කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් ඉස්ලාම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වන දින (පාස්කු ඉරුදින) සිදු කරන ලද ස්වයංඝාතක ප්‍රහාර මාලාවට අදාළ පූර්ව හා පසු සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. මෙතෙක් හෙළි නොවූ කරුණු සහ එම අපරාධයන්ට වගකිවයුතු පුද්ගලයන්, කණ්ඩායම් සහ පාර්ශ්වයන් අනාවරණය කර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන තිබෙනවා.
1. විමර්ශන ආරම්භ කිරීම සහ නෛතික පියවර



සමාජ හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ජූඩ් වර්නන් සිල්වා පියතුමා විසින් 2024.10.01 දිනැතිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව, විමර්ශන ගොනු අංක 544/2024 (CM) යටතේ පැතිකඩ කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

    නෛතික උපදෙස් ලබා ගැනීම: විමර්ශන පවත්වාගෙන යාමේදී මතු විය හැකි නෛතික ගැටලු සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම CR 1/316/2024 යටතේ ගරු නීතිපතිතුමා වෙත කරුණු දක්වා නෛතික උපදෙස් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

    අධිකරණ ක්‍රියාවලිය: මෙම විමර්ශනයට අදාළව නඩු අංක B 882/2024 යටතේ ගරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර නඩු කටයුතු පවත්වාගෙන යනු ලබනවා.

    පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට සහ විමර්ශන සඳහා උපදෙස් දීමට නීතිපතිතුමා විසින් පත් කර ඇති නීති නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් නෛතික උපදෙස් ලබා ගැනෙනවා.

2. තුවාන් සුරේෂ් සලේ මහතාට එරෙහිව අනාවරණය වී ඇති කරුණු

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී, හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය විසින්, ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් මෙම ප්‍රහාරයට කුමන්ත්‍රණය කළ බවට සාධාරණව විශ්වාස කිරීමට ප්‍රමාණවත් පහත කරුණු අනාවරණය වී තිබෙනවා:

    සංවේදී තොරතුරු රැස් කිරීම: පාස්කු ප්‍රහාරයට සති තුනකට පමණ පෙර, මුස්ලිම් ජාතිකයන් සිව්දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහභාගි වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට ඔහු කටයුතු කර ඇත.

    සැකකරුවන් හඳුනාගැනීම: මෙම තොරතුරු රැස් කිරීමට යොමු කළ පුද්ගලයන් අතර සිටි ප්‍රධානියාගේ ඡායාරූපය, සාක්ෂිකරුවෙකු විසින් අපරාධ වාර්තා කොට්ඨාසයේ (CRD) ඉස්ලාම් අන්තවාදීන්ගේ ඡායාරූප අතර තිබී හඳුනාගෙන ඇත. එම පුද්ගලයා ISIS මතවාදය දරන්නෙකු බවටත්, ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදන් වී ඇති බවටත් තහවුරු වී තිබේ.

    බුද්ධි තොරතුරු නොසලකා හැරීම: සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් (NTJ) සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට, පානදුර ප්‍රදේශයේ පදිංචි යුද හමුදා බුද්ධි තොරතුරුකරුවෙකු විසින් දැනුවත් කර තිබියදීත්, එය නොසලකා හැරීමෙන් ප්‍රහාරයට අවකාශ සැලසී ඇත.

    බුද්ධි තොරතුරුකරුට බලපෑම් කිරීම: ප්‍රහාරය යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බව එම තොරතුරුකරු විසින් දැනුම් දීමෙන් පසු, ඔහුව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට පසුව මුදාහැර ඇත. ඉන් අනතුරුව සුරේෂ් සලේ මහතා කොළඹ ගලදාරි හෝටලයේදී ඔහුව හමුවී සමාව අයැද සිටි බවද අනාවරණය වී ඇත.

    චැනල් ෆෝ (Channel 4) හෙළිදරව්ව: මොහොමඩ් නිලාම් මොහොමඩ් හන්සීර් හෙවත් 'අසාද් මවුලානා' විසින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට හෙළි කළ කරුණු අනුව, මෙම ප්‍රහාර මාලාවට අවශ්‍ය පසුබිම සැලසුම් සහගතව සකස් කළේ තුවාන් සුරේෂ් සලේ විසින් බව තහවුරු වී තිබෙනවා.

මෙම ක්‍රියාකලාපය හරහා ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට මෙන්ම ජාතීන් හා ආගම් අතර සහජීවනයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අදාළ වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින්, මෙම අපරාධයට සෘජුව හා වක්‍රාකාරයෙන් ආධාර අනුබල දී ඇති බව පැහැදිලියි.
3. සැකකරු අත්අඩංගුවට ගැනීම සහ ලබා දී ඇති පහසුකම්

ඉහත කරුණු මත පදනම්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරද තේරුම් කර දී, ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව (සඳහන් කළ පරිදි: අංක 7/2B, 7 වන පටුමග, ජම්බුගස්මුල්ල පාර, නුගේගොඩ ලිපිනයේ පදිංචි) තුවාන් සුරේෂ් සලේ මහතාව 2026.02.25 වන දින පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට ඔහුගේ සියලු මූලික අයිතිවාසිකම් සහ පහසුකම් කිසිදු අයුරකින් උල්ලංඝනය නොකර ලබා දී තිබෙනවා:

    නීතිඥවරයෙකු සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සහ නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම.

    අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව නිවසට රැගෙන ගොස්, බිරිඳ ඇතුළු ඥාතීන්ට කරුණු පැහැදිලි කර දී අදාළ රිසිට්පත භාර දීම.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත ලිඛිතව දැනුවත් කිරීම.

    කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) වෙත ඉදිරිපත් කිරීම.

පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක රැඳවුම් නියෝගයක්ද, ඉන් අනතුරුව දින 90 ක රැඳවුම් නියෝගයක්ද ලබා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන සිදු කරනු ලබනවා.



සතිපතා ලබා දෙන පහසුකම්:

    සෑම බදාදා දිනකදීම: නීතිඥවරයා හමුවී උපදෙස් ලබා ගැනීමට.

    සෑම සිකුරාදා දිනකදීම: බිරිඳ සහ මව ඇතුළු සමීප ඥාතීන්ට දුරකථනයෙන් කතා කිරීමට.

    සෑම සෙනසුරාදා දිනකදීම: සමීප ඥාතීන් හමුවීමට මෙන්ම නිවසින් රැගෙන එන ආහාර, ඇඳුම් සහ වෙනත් පාන වර්ග ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එසේම, ගරු කොටුව මහේස්ත්‍රාත්තුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිර මැදිරිය නිරීක්ෂණය කර තිබෙනවා. එම කිසිදු අවස්ථාවකදී තමාට අමානුෂික ලෙස සැලකූ බවක් හෝ වධහිංසා පැමිණවූ බවක් සැකකරු විසින් මහේස්ත්‍රාත්තුමාට හෝ වෙනත් කිසිදු බලධාරියෙකුට පැමිණිලි කර නැහැ.
4. වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දීම

සැකකරුගේ නීතිඥවරයාගේ ඉල්ලීම මත, ගරු අධිකරණයේ නියෝග ප්‍රකාරව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න මහතා වෙත ඔහුව ඉදිරිපත් කළා. ඔහුගේ නිර්දේශ මත සැකකරුට අවශ්‍ය සියලුම විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා:
දිනය    රෝහල/ආයතනය    විශේෂඥ වෛද්‍යවරයා    ලබාදුන් ප්‍රතිකාර / පරීක්ෂණ
2026.04.29    කොළඹ ජාතික රෝහල    චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට    ඉකිළි ප්‍රදේශයේ කුෂ්ඨ රෝග තත්ත්වයක් සඳහා ඖෂධ ලබා දීම.
2026.04.29    කොළඹ ජාතික රෝහල    පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය එච්.එම්.එන්.පී. හේරත්    පෝෂණ අතිරේක සහ විටමින් වර්ග ලබා දීම (දැනටමත් භාවිතා කරයි).
2026.04.29 / 2026.05.02    කොළඹ ජාතික රෝහල    ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ    පරීක්ෂාව සහ MRI පරීක්ෂණයක් සිදු කර වාර්තා ලබා ගැනීම.
2026.05.25/26    ජාතික අක්ෂි රෝහල    විශේෂඥ අක්ෂි වෛද්‍ය කේ.ආර්. දයාවංශ    අක්ෂි පරීක්ෂණ සහ අවශ්‍ය ප්‍රතිකාර.
අත්අඩංගුවට ගත් දින    කොළඹ ජාතික රෝහල    අදාළ විශේෂඥ වෛද්‍යවරුන්    කනේ ආබාධයක් සඳහා ප්‍රතිකාර කිරීම සහ ගැලවී තිබූ කෘත්‍රිම දතක් දන්ත වෛද්‍යවරුන් ලවා නිසි පරිදි සවි කර දීම.

මීට අමතරව, රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය නිදර්ශක, කොළඹ 8, ඩැනිස්ටර් ද සිල්වා මාවතේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.
5. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සහ සැකකරුගේ උපවාසය

අසාද් මවුලානා නමැති සාක්ෂිකරුගේ ප්‍රකාශය මත පදනම්ව හෙළි වූ සංවේදී කරුණු මත, හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට 2026.03.26 දින ගරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත්තා. එසේම, සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගය 2026.05.27 දින සිට තවත් දින 90 කින් දීර්ඝ කිරීමට කටයුතු කළා.

මෙම නෛතික පියවරයන්ගෙන් පසුව, සුරේෂ් සලේ යන සැකකරුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විමර්ශනවලට බාධා වන අයුරින් සහ අගතිගාමී ලෙස හැසිරෙමින්, ඔහු 2026.06.05 දින රාත්‍රියේ සිට ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කළා.

    2026.06.06 දින: සහෝදරයා සහ පුතා විසින් රැගෙන ආ ආහාර පවා ඔහු ප්‍රතික්ෂේප කළා. බිරිඳගේ ඉල්ලීම මත පවුලේ අය සමඟ සාකච්ඡා කිරීමට ඉඩ ලබා දුන්නද, ඔහු තවදුරටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා.

    වෛද්‍ය අධීක්ෂණය: මෙලෙස සැලසුම් සහගතව ආහාර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ දිනුක සෙනෙවිරත්න සහ වෛද්‍ය සංජීව නුවන් යන මහත්වරුන් කැඳවා සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළා.

    රෝහල්ගත කිරීම: 2026.06.07 දින නැවතත් වෛද්‍ය සේනාරත්න මහතා කැඳවා පරීක්ෂා කිරීමේදී රුධිරයේ සීනි මට්ටම අඩු වී ඇති බව තහවුරු වූ බැවින්, වහාම පූර්ණ ආරක්ෂාව සහිතව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළා. මූලික ප්‍රතිකාරවලින් පසු 14 වන වාට්ටුවටත්, 2026.06.08 දින සිට මේ දක්වා 42 වන වාට්ටුවටත් ඇතුළත් කර මනෝ වෛද්‍යවරුන්, කායික වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

6. ඉදිරි විමර්ශන කටයුතු සහ යුක්තිය ඉටු කිරීම

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා සැකකරු විමර්ශන කටයුතුවලට කිසිදු සාධනීය සහයක් ලබා දී නැහැ. ඔහු සන්තකයේ තිබී භාරයට ගත් Apple ජංගම දුරකථනයේ සහ නිවසේ තිබී සොයා ගත් ලැප්ටොප් පරිගණකයේ මුරපද (Passwords) පවා විමර්ශන නිලධාරීන්ට ලබා දීම ඔහු මේ වන තෙක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු කුමන ආකාරයකින් කරුණු වසන් කිරීමට උත්සාහ කළද, මේ වන විට ලැබී ඇති සියලුම විද්‍යාත්මක, තාක්ෂණික සහ දුරකථන දත්ත ඔස්සේ මෙම කුමන්ත්‍රණයට ඔහුගේ ඇති සෘජු සම්බන්ධය හොඳින් තහවුරු වී අවසන්.

කිසිදු උපවාසයකට හෝ සත්‍යග්‍රහයකට යට වී අප මෙම විමර්ශන නතර කිරීමට සූදානම් නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අහිංසක ජීවිත 278 ක් අහිමි වුණා; 500 කට අධික පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වුණා. එම ජනතාවට අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු විය යුතුයි. සමාජයේ පැවති බරපතළ සැකයන් ඉවත් කර, සැබෑ අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම අපගේ අරමුණයි.

මෙම විමර්ශනයේ ඇති සංකීර්ණභාවය, ආන්දෝලනාත්මක ස්වභාවය සහ සංවේදීභාවය හේතුවෙන් සියලුම කරුණු මේ අවස්ථාවේදී හෙළි කිරීමට මට හැකියාවක් නැහැ. කෙසේ වෙතත්, විමර්ශන කටයුතු තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන ගොස්, පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාම අධිකරණය ඉදිරියට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට අප අනිවාර්යයෙන්ම කටයුතු කරන බව මේ ගරු සභාවට ප්‍රකාශ කර සිටිනවා."