all-government-offices-in-galle-in-one-building

ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු වඩාත් කඩිනම් කිරීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.




ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාල්ල පුරවරය ඉහළ පෙළේ සංචාරක මෙන්ම සංස්කෘතික නගරයක් බවට පත් කිරීමේ වැඩසටහන්හි වත්මන් ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයාගේ සමාලෝචනයට ලක් වූ අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු සහ ඊට ලබාදිය හැකි කඩිනම් විසඳුම් සම්බන්ධයෙන්ද පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනිණි. විධිමත් නාගරික සැලැස්මකට අනුව යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, 

රාජ්‍ය ආයතන ගාලු කොටුවෙන් පිටතට ගෙන යාම, නව මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම භූමියෙන් උපරිම ඵලදායීතාවක් ලබා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට සුවිශේෂී වගකීමක් පැවරෙන බව පෙන්වා දෙන ලදී. ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියා කිරීමේ වැදගත්කමද හෙතෙම පැහැදිලි කළේය. ඊට අමතරව, මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය නව ආයෝජන දිනා ගැනීම සහ ඉදිකිරීම් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම කෙරෙහි ද මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කෙරිණි.

නගර මධ්‍යයේ මේ වන විට ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වෙනත් සුදුසු ස්ථාන වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානයට ලක් විය. මහජනතාවට කිසිදු බාධාවකින් තොරව වඩාත් පහසුවෙන් සේවා ලබා ගැනීම සඳහා ගාල්ල නගරයේ විසිරී ඇති සියලුම රජයේ කාර්යාල එක් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලක් යටතට ගෙන ඒමටත්, දැනට පවතින සෞන්දර්ය පාසල තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද, ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නිරන්තරයෙන් දිනා ගන්නා අයුරින් ඉහළ මට්ටමකට සංවර්ධනය කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී තවදුරටත් කරුණු සොයා බලන ලදී.




මෙම අවස්ථාව සඳහා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත පෙරේරා, ටී.කේ. ජයසුන්දර, නිශාන්ත සමරවීර, හසාරා ලියනගේ සහ තිලංක යූ. ගමගේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්.බී. කුමුදුලාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන්. දිනිප්‍රිය, ජාතික ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වී. වාසුදේවන්, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ඒ.ආර්. තරංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ. තවද, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්.ඒ.කේ. සුබසිංහ, ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන්.ආර්.එස්. වික්‍රමසිංහ, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිසන්ත ඩබ්. මහේන්ද්‍ර, දකුණු පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තුෂානි ද අල්විස් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ සහ ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ සෙසු ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.