court-ordered-medical-examination-to-find-out-if-saleh-was-molested---protests-save-the-attic

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අත්අඩංගුවේදී වධහිංසා පමුණුවා ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර, සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මෝසමක් සහ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇත.

විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ වෛද්‍යවරුන් වන තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ. අදාළ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදුකර, එහි වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.




මේ අතර, සුරේෂ් සලේ මහතාට අත්අඩංගුවේදී කෘෘර සහ අමානුෂික ලෙස සැලකීමට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් පසුගිය ජූනි 08 වනදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය තාවකාලිකව නතර කිරීමට එහි සංවිධායකයින් තීරණය කර තිබේ. රටේ පවතින වත්මන් තත්ත්වය සහ මෙම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, අද (10) දිනයේදී පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් බරපතළ කරුණු කිහිපයක් අනාවරණය කළේය. පාස්කු ප්‍රහාරයට අදාළව ඉස්ලාම් අන්තවාදීන් මෙහෙයවමින් ඔහු ඊට කුමන්ත්‍රණකාරී ලෙස සම්බන්ධ වී ඇති බව විමර්ශන හරහා මේ වන විට පැහැදිලිව තහවුරු වී ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. ප්‍රහාරයට සති තුනකට පෙර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන වෙත මුස්ලිම් ජාතිකයින් පිරිසක් යොමු කර, එම ස්ථානවලට රැස්වන ජනගහනය ඇතුළු අතිශය සංවේදී තොරතුරු රැස් කිරීමට ඔහු කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.




මෙම ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරුකරුවෙකු විසින් යුද හමුදා බුද්ධි අංශය කල්තියා දැනුවත් කර තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබූ බවද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. තවද, බ්‍රිතාන්‍යයේ 'චැනල් ෆෝ' නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අසාත් මවුලානා නැමැත්තාද පාස්කු ප්‍රහාරය සඳහා සුරේෂ් සලේ මහතාගේ ඇති සම්බන්ධතාවය පිළිබඳව ප්‍රකාශ කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. කුමන පාර්ශ්වයක් සත්‍යග්‍රහ හෝ උපවාස සිදුකළද, මෙම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු කිසිසේත් නතර නොකරන බව අමාත්‍යවරයා අමාත්‍යාංශ නිවේදන යටතේ අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.