55-new-hostel-facilities-for-16000-university-students

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මඟින් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම ලබන සිසුන් දහසය දහසකට නේවාසික පහසුකම් සැලසීම උදෙසා නව ව්‍යාපෘති 55ක් ක්‍රියාවට නංවා තිබේ. අදියර තුනක් යටතේ දියත් කෙරෙන මෙම වැඩසටහන මඟින් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල රැසක සිසුන්ගේ නවාතැන් ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන අතර, මේ වන විටත් ඒ ඒ විශ්වවිද්‍යාල සඳහා අදාළ ව්‍යාපෘතිවල ඉදිකිරීම් සහ ප්‍රසම්පාදන කටයුතු විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වෙමින් පවතී.




ඒ අනුව, නැඟෙනහිර විශ්වවිද්‍යාලය සඳහා සිසුන් 400කට පහසුකම් සහිත 'ඒ' වර්ගයේ ගොඩනැඟිලි තුනක් සහ සිසුන් 200කට පහසුකම් සහිත 'බී' වර්ගයේ ගොඩනැඟිලි දෙකක් ලෙස ව්‍යාපෘති පහක් යටතේ සිසුන් 1,600කට අවස්ථාව හිමිවේ. පසුගිය අප්‍රේල් මස 30 වැනිදා ඊට අදාළ මිල ගණන් කැඳවීම් විවෘත කර ඇති අතර මේ වන විට සුදුසු ආයතනයක් තෝරාගැනීමේ ඇගයීම් සිදු කෙරේ. යාපනය විශ්වවිද්‍යාලයේ ද සිසුන් 600ක් වෙනුවෙන් 'ඒ' සහ 'බී' වර්ගයේ නේවාසිකාගාර දෙකක් ඉදිකෙරෙන අතර, එහි ටෙන්ඩර් යෝජනා ඇගයීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. මීට අමතරව, අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 2,000ක් සඳහා නව නේවාසිකාගාර හයක් ඉදිවන අතර, ඒ සඳහා මැයි 21 දින විවෘත කරන ලද ටෙන්ඩර් මිල ගණන්වලට අදාළව ඉදිරි පියවර ගනිමින් සිටියි.

සබරගමුව විශ්වවිද්‍යාලය සහ රජරට විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ද සිසුන් 2,200 බැගින් නවාතැන් පහසුකම් සැලසෙන පරිදි නව නේවාසිකාගාර ව්‍යාපෘති හත බැගින් ක්‍රියාත්මක වේ. මේ යටතේ අදාළ විශ්වවිද්‍යාල දෙකෙහිම 'ඒ' වර්ගයේ ගොඩනැඟිලි හතර බැගින් සහ 'බී' වර්ගයේ ගොඩනැඟිලි තුන බැගින් ඉදිවනු ඇත. සබරගමුව විශ්වවිද්‍යාලයේ අදාළ ටෙන්ඩර් කැඳවීම් මැයි 20 වන දින සිදුකර ඇති අතර, රජරට විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම්කරුවන් තෝරාගැනීමේ මිල ගණන් මැයි 21 දින සාර්ථකව විවෘත කර තිබේ. එමෙන්ම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ද සිසුන් 1,800ක් වෙනුවෙන් නේවාසිකාගාර හයක් ඉදිකිරීමට යෝජිත අතර, ඒ සඳහා වන මූලික සාකච්ඡා පවත්වා මැයි 22 දින මිල ගණන් කැඳවීම් සිදුකර ඇත.




ශ්‍රී ජයවර්ධනපුර, වයඹ සහ වවුනියාව යන විශ්වවිද්‍යාලවල ද සිසුන් 1,200 බැගින් නේවාසික පහසුකම් හිමිකර දීමේ අරමුණින් ව්‍යාපෘති හතර බැගින් ආරම්භ කර තිබේ. ඒ යටතේ ජයවර්ධනපුර සහ වයඹ විශ්වවිද්‍යාල වෙනුවෙන් 'ඒ' සහ 'බී' වර්ගයේ ගොඩනැඟිලි දෙක බැගින් ඉදිවන අතර, මේ වන විට එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ටෙන්ඩර් හා නෛතික ලියකියවිලි සකස් කිරීමේ කටයුතු සිදුවේ. වවුනියාව විශ්වවිද්‍යාලයේ අදාළ ව්‍යාපෘති සඳහා වන තාක්ෂණික ඇගයීම් වාර්තා සකස් කෙරෙමින් පවතින බව සඳහන් ය. තවද, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 400ක් වෙනුවෙන් 'බී' වර්ගයේ නේවාසිකාගාර දෙකක් සඳහා මැයි 17 වන දින වන විට මිල ගණන් කැඳවීම් ආරම්භ කර තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 800ක් වෙනුවෙන් 'බී' වර්ගයේ නේවාසිකාගාර හතරක් ඉදිකෙරෙන අතර, එහි වැඩබිම් කටයුතු ආරම්භ කර භූමිය සකස් කිරීම මේ වන විටත් සියයට 75කින් පමණ නිමකර ඇත. ත්‍රිකුණාමලය මණ්ඩපය සඳහා සිසුන් 400කට පහසුකම් සැලසෙන 'බී' වර්ගයේ ගොඩනැඟිලි දෙකක් සැලසුම් කර ඉදිකිරීමේ පදනම යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා අප්‍රේල් 09 සිට මැයි 27 දක්වා කාලය තුළ මිල ගණන් කැඳවා අවසන් කර තිබේ. ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ද සිසුන් 400කට නේවාසික පහසුකම් ලබාදෙමින් 'බී' වර්ගයේ ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා සැලසුම් කර ඉදිකිරීමේ ක්‍රමවේදයට අනුමැතිය හිමිව ඇති අතර, ඊට අදාළ භූමිය තෝරාගැනීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.