කොළඹ වරායෙන් බහාලුම් 323ක් කිසිදු භෞතික පරීක්ෂාවකට ලක් නොකර මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ තවත් හිටපු ඉහළ නිලධාරියකුගෙන් ඊයේ (03) දින ප්‍රශ්න කරනු ලැබ තිබේ.
අදාළ බහාලුම් තොගය වරායෙන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය තුළ යම් යම් අඩුපාඩු සිදුව ඇති බව එම හිටපු රේගු ප්‍රධානියා කාරක සභාව හමුවේ පිළිගෙන ඇති බව වාර්තා වේ. මේ අතර, මෙම සිදුවීමට අදාළව තොරතුරු විමසීම සඳහා ඉදිරියේදී ඊට සෘජුවම සම්බන්ධ පාර්ශ්වයන් පමණක් කැඳවීමටද අදාළ කමිටුව ඊයේ තීරණය කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම විශේෂ කාරක සභාව මේ වන විටත් පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ හිටපු ප්‍රධානීන්ට අමතරව, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සහ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් ද එලෙස ප්‍රශ්න කිරීම්වලට ලක්වූ පිරිස අතර වෙති.
මෙම විමර්ශනයට අදාළ කාරක සභාවේ අවසාන වාර්තාව ඔවුන්ගේ ප්‍රථම රැස්වීම පැවැත්වූ දිනයේ සිට මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. රතු කාණ්ඩය (Red Channel) යටතේ වර්ගීකරණය කර තිබූ මෙම බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම වරදක් බව, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය මගින් පත් කළ කමිටුවක් විසින් 2025 වසරේ ජුනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ද පැහැදිලිවම සඳහන් කර තිබිණි.
