
හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ”සෙනෙහසේ කැදැල්ල” නමැති වැඩිහිටි සහ රැකවරණ නිවාසයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
බදාදා (03) පස්වරුවේ හටගත් මෙම ඛේදනීය ගින්නෙන් පුද්ගලයින් එකොළොස් දෙනෙකු එම ස්ථානයේම පිළිස්සී මියගොස් ඇති අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. ඊට අමතරව ගින්නෙන් පිටවූ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම රැකවරණ මධ්‍යස්ථානයේ වැඩිහිටියන්ට අමතරව මානසික සෞඛ්‍ය ගැටලු සහිත තරුණ පිරිසක් ද රඳවා සිට ඇති අතර, මියගිය අය අතර 17 හැවිරිදි පිරිමි ළමයෙකු ද වන බව පොලිසිය තහවුරු කර ඇත.
නිසි ප්‍රමිතියකින් තොරව සහ නීතිවිරෝධී අන්දමින් පවත්වාගෙන ගොස් ඇති මෙම ආයතනයේ හිමිකරු වන ඉසුරු අනුෂ්ක හෙවත් ලොකු අයියා නමැත්තා බ්‍රහස්පතින්දා දිනයේදී මාංචු පිටින් සිද්ධිය වූ ස්ථානයට රැගෙනවිත් පරීක්ෂණ සිදුකිරීමට ද පොලිසිය පියවර ගෙන තිබිණි. අදාළ නිවාසය පවත්වාගෙන යාම සඳහා කිසිදු නිල අවසරයක් ලබාගෙන නොමැති බවත්, නියාමන ආයතන විසින් පනවා ඇති අවම ප්‍රමිතීන් හෝ එහි සපුරා නොමැති බවත් අධිකරණයේදී අනාවරණය විය. ඒ අනුව, රැකවරණ නිවාස පවත්වාගෙන යාමේ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම නිවාසයේ සිටින අයට ආහාර වේල් දාන ලෙස ලබාදීම සඳහා නිවාසයේ හිමිකරු අරමුදල් එකතුකිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරමින් සිටි බවත් ඔහු ඒ සදහා නිවාසයේ සිටින අය සදාචාර විරෝධී ලෙස සමාජ මාධ්‍ය තුළ පෙන්වමින් ජනප්‍රිය කරවීමටත් ඒ තුළින් ආධාර අනුග්‍රහ ලබාගැනීමටත් කටයුතු කර ඇති බව මේ වනවිට හෙළිව තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා සහන සේවා කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක නිරත වූ අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබිණි. මූලික සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලට අනුව ගොඩගසා තිබූ මෙට්ට තොගයක් සහිත ගබඩා කාමරයකින් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකෙරේ. ගින්නෙන් බේරාගත් නේවාසිකයින් සහ කාර්ය මණ්ඩලයේ 51 දෙනෙකු මේ වන විට ආසන්නයේ පිහිටි රජයේ පාසලක් වෙත ආරක්ෂිතව යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වූට්ලර් මහතා සඳහන් කළ අතර හොරණ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
