බුලත්සිංහල, ඈගල්ල පාර ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක උඩුමහලේ පවත්වාගෙන ගිය රෙදිපිළි අලෙවිසැලක් තුළ තිබී අඹුසැමි යුවළකගේ සිරුරු අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. බුලත්සිංහල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකළ සෝදිසි කිරීම්වලදී ඊයේ (14) මෙම දේහයන් සොයා ගැනීමට හැකිවී ඇත.
මෙලෙස අභිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ස්ථානයේ කුලී පදනම මත පදිංචිව සිටි විජිතසිරි දසනායක නමැති 61-62 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දෙවන බිරිඳ බව කියන වේරගොඩ විදානලාගේ පුෂ්පා ෂිරෝමනි නැමැති 55 හැවිරිදි කාන්තාවකි. පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය බිරිඳගේ සිරුර රෙද්දකින් වසා දමා තිබූ අතර එහි ලේ පැල්ලමක්ද දක්නට ලැබුණු බවයි.
මෙම නිවස සහ වෙළෙඳසැල දින කිහිපයක සිට පිටතින් වසා දමා තිබී ඇති අතර, සිරුරු සොයාගන්නා විට පැවති තත්ත්වය අනුව මෙම මරණ මීට දින කිහිපයකට පෙර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම අභිරහස් සිදුවීම සාහසික ඝාතනයක්ද නැතහොත් වෙනත් කිසියම් හේතුවක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා බුලත්සිංහල පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
