to-stop-the-roaring-of-umbe-the-mouths-were-tied-and-a-fake-cow-was-drawn

ගවයන් කෑගසන හඬ පිටතට ඇසීම වැළැක්වීම සඳහා උන්ගේ කටවල් තදින් ගැටගසා කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරගම, කොතලාවල උයන්වත්ත පාරේදී පසුගිය 13 වැනිදා සවස් කාලයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගව සොරකම් සම්බන්ධයෙන් මීට පෙරද පූර්ව වැරදි රැසක් ඇති පුද්ගලයෙකි.




පොලිස් භාරයට ගත් ලොරිය පරීක්ෂා කිරීමේදී එහි සඟවා සිටි වයස අවුරුදු දෙකක් පමණ වන මුරා වර්ගයේ මී ගවයකු සහ එම වයසේම පසුවන ප්‍රිසියන් වර්ගයේ එළ ගවයකු සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවී ඇත. ආවරණය කරන ලද කුඩා ලොරි රථයකින් සතුන් ප්‍රවාහනය කරන බවට බණ්ඩාරගම පොලිස් ස්ථානයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම් ක්‍රියාත්මක කර තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම සතුන් දෙදෙනා හෝමාගම ප්‍රදේශයේ පිහිටි මස් කඩයකට මුදලට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවයි. බණ්ඩාරගම, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු සන්තකයේ සිටි සතුන් සොරකම් කරන ලද ඒවාද යන්න තහවුරු කරගැනීම සඳහා දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන වෙතද විශේෂ පණිවිඩ නිකුත් කිරීමට පියවර ගෙන ඇත. බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස සතුන් ප්‍රවාහනය කිරීම සහ සත්ව හිංසනය යන චෝදනා යටතේ සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.