
බලහත්කාරී ශ්‍රමය (Forced Labor) භාවිත කරමින් සිදුකරන නිෂ්පාදන එක්සත් ජනපදයට ආනයනය කිරීමේදී නව තීරු බද්දක් පනවා ඇති බවට සමාජයේ පැතිර යන කටකතා සහ මිථ්‍යා මත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කම්කරු මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. මේ වන විට අමෙරිකාව විසින් එවැනි කිසිදු බද්දක් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා නොමැති බව ඒ මහතා වැඩිදුරටත් තහවුරු කර සිටියේය.
අමෙරිකා එක්සත් ජනපදය සිය සැපයුම් ජාලයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සහ වෙළෙඳ පරතරය පියවා ගැනීමේ අරමුණින් ලොව පුරා රටවලට බලපාන පරිදි තීරු බදු සංශෝධනයක් ගෙන ඒමට යෝජනා කර ඇත. ඒ යටතේ විවිධ රටවල නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා බලහත්කාරී ශ්‍රමය යොදාගන්නේද යන්න පිළිබඳව ඔවුන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සැපයුම් ජාල තුළට බලහත්කාරී ශ්‍රමය මුසුවී ඇතැයි මූලික තොරතුරු වාර්තා වී ඇති ලොව පුරා රටවල් හැටක් පමණ ඉලක්ක කරගනිමින් මෙම යෝජිත බද්ද හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නමද එම ලැයිස්තුවට ඇතුළත්ව ඇත. කෙසේ වෙතත්, මෙය හුදෙක් යෝජනාවක් පමණක් මිස මෙතෙක් ක්‍රියාත්මක කළ බද්දක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූවක් නොවන අතර, ලෝකයේ තවත් ප්‍රමුඛ පෙළේ රටවල් රැසක්ම අමෙරිකානු විමර්ශන ක්‍රියාවලියට යටත්ව තිබේ. විශේෂයෙන්ම ආසියානු කලාපය නියෝජනය කරන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව, පිලිපීනය, තායිලන්තය මෙන්ම වියට්නාමය ද මෙම යෝජිත ලැයිස්තුවට අයත්ය. ඊට අමතරව යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය සහ සිංගප්පූරුව වැනි ඉහළ සංවර්ධිත රාජ්‍යයන්ද මීට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇත. තවද, මේ පිළිබඳව කටයුතු කිරීම උදෙසා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවී තිබේ. ශ්‍රී ලංකාවේ සැපයුම් ජාලයන් තුළ බලහත්කාරී ශ්‍රමය කිසිසේත්ම භාවිතා නොවන බව තහවුරු කිරීමටත්, අමෙරිකානු පරීක්ෂණ කණ්ඩායම් වෙත ඊට අදාළ සියලු තොරතුරු විනිවිදභාවයෙන් යුතුව ලබාදීමටත් රජය පියවර ගනිමින් සිටී. මෙරට තුළ බලහත්කාරී ශ්‍රමය වැළැක්වීම සඳහා අතිශය ශක්තිමත් නීති පද්ධතියක් ක්‍රියාත්මක වන බවත්, නිෂ්පාදන ක්‍රියාවලියට එවැනි නීතිවිරෝධී ක්‍රම ඇතුළත් වීමට කිසිදු ඉඩක් නොතබන බවත් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තරයේ ප්‍රකාශ කර සිටියේය.
