බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය භාවිතා කරන නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දැඩි ලෙස හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය වී ඇති බවට කම්පන සහගත තොරතුරු හෙළි වී තිබේ. මෙම බරපතල තත්ත්වය හමුවේ, වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ෆේස්බුක්, ස්නැප්චැට්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සූදානම් වන බව වාර්තා වේ.
මාස තුනක පමණ කාලයක් පුරා සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගැනීමට නියමිත අතර, එය මෑතකදී ඕස්ට්‍රේලියාව විසින් ගෙන ආ නීතිවලටත් වඩා දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වයස අවුරුදු 16 සහ 17 පසුවන යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සහ වේදිකාවල සැලසුම් වෙනස් කිරීම ඇතුළු පියවර රැසක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, අප්‍රේල් මාසයේ එක් සතියක් තුළ පමණක් අවුරුදු 13 ත් 17 ත් අතර ගැහැණු ළමුන්ගෙන් 47% ක් සහ පිරිමි ළමුන්ගෙන් තුනෙන් එකක් පමණ සියදිවි නසාගැනීම්, ස්වයං-හානි කරගැනීම් සහ ආහාර අරුචිය වැනි රෝගී තත්ත්වයන්ට අදාළ අතිශය භයානක අන්තර්ගතයන් දැක ඇති බව තහවුරු වී ඇත. මාර්ගගත ආරක්ෂණ පනත බලාත්මක වීමට පෙර පැවති තත්ත්වයට වඩා වර්තමානයේ මෙම අහිතකර අන්තර්ගතයන්ට නිරාවරණය වන යෞවනයන්ගේ ප්‍රතිශතයෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොලැබීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් වයස අවුරුදු 14 තරම් ලාබාල දරුවන් පවා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සිදුව ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, රජයේ මෙම පූර්ණ තහනම පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර එල්ල වී තිබේ. 2017 වසරේදී සමාජ මාධ්‍ය හරහා විෂ සහිත අන්තර්ගතයන් නැරඹීමෙන් පසු සියදිවි නසාගත් 14 හැවිරිදි මොලීගේ පියා වන ඉයන් රසල් මහතා මෙම තහනමට දැඩිව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ දරුවන් කෙසේ හෝ මෙම තහනම මඟහැරීමට මාර්ග සොයාගනු ඇති බවත්, එමඟින් පවතින අනතුරුදායක ඩිජිටල් පරිසරය තවදුරටත් එලෙසම පවතිනු ඇති බවත්ය. තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගනිමින් ගැටලුවේ මූලයට විසඳුම් සෙවීම වෙනුවට අගමැතිවරයා දේශපාලනික වශයෙන් පහසු විකල්පය තෝරාගෙන ඇති බවට ඔහු චෝදනා කරයි.
අනෙක් අතට, අන්තර්ජාල අභියෝගයක් (online challenge) සම්පූර්ණ කිරීමට යාමේදී 2022 දී මියගිය ජූල්ස් නම් 14 හැවිරිදි දරුවාගේ මව වන එලන් රූම් මෙම තහනම දැඩි ලෙස අනුමත කරයි. එසේම, මෙටා සමාගමේ හිටපු සේවකයෙකු මෙන්ම තොරතුරු හෙළිකරන්නෙකු ද වන ආර්ටුරෝ බේජාර් අවධාරණය කරන්නේ, දරුවන්ට ප්‍රවේශ වීමට පෙර තම වේදිකාවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව ඔප්පු කිරීමට තාක්ෂණික සමාගම්වලට රජය විසින් බල කළ යුතු බවයි. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි නම්, අදාළ සමාගම්වලට වෙළඳපොළ අහිමි කිරීමේ තත්ත්වයක් නිර්මාණය කළ යුතු බව ඔහුගේ මතය වී තිබේ.
