
හොරණ, බැල්ලපිටිය, මාහේන අරඹකන්ද ප්‍රදේශයේ නිවසක අද (07) අලුයම ඇතිවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවක විසින් සිය සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඔහුව ඝාතනය කර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරඹකන්ද ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 49ක් වන දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ අයෙකු බවත්, ඔහු නිතරම අධික බීමතින් සිටිමින් බිරිඳ සහ දරුවන්ට හිරිහැර කරමින් දිගින් දිගටම ආරවුල් ඇති කරගෙන ඇති බවත් පොලීසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊයේ (06) රාත්‍රියේ සිටම මෙම යුවළ අතර නිවස තුළ දැඩි බහින්බස් වීමක් සිදුව ඇති අතර, එහිදී කෝපයට පත් සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳට පහර දීමට උත්සාහ කර තිබේ. එහිදී වහා ක්‍රියාත්මක වූ බිරිඳ එම ආයුධය උදුරාගෙන ඉන් සැමියාට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් තවදුරටත් තහවුරු වී ඇත.
මෙම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ සැමියා එම ස්ථානයේම මියගොස් ඇති අතර, ඔහුගේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට රඳවා තිබේ. මෙම ඝාතනයට අදාළව සැකකාර බිරිඳ මේ වන විටත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලීසිය විසින් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කරනු ලබයි.
