ලුණුගම්වෙහෙර, උනාතුවැව ප්‍රදේශයේ 170 කණුව ආසන්නයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. ඊයේ 11 වනදා පස්වරු 5:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ඒ වන විට එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලෙමින් තිබූ බව වාර්තා වේ.
අනතුරට මුහුණ පා ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිට අම්පාර බලා ධාවනය වූ ‘දිලංක එක්ස්ප්‍රස්’ (NE 5182) නැමැති අධිවේගී පෞද්ගලික බස් රථය සහ බදුල්ල සිට මාතර බලා ධාවනය වූ ‘නිමලී එක්ස්ප්‍රස්’ (SP NC 5122) නැමැති පෞද්ගලික බස් රථයයි.
මෙම දරුණු ගැටීමෙන් තුවාල ලැබූ පිරිස වහාම ලුණුගම්වෙහෙර සහ දෙබරවැව යන රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. රෝහල් ආරංචි මාර්ගවලට අනුව තුවාල ලැබූවන් අතර සිටින එක් වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර අනෙක් පිරිසෙහි සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
