a-srilankan-flight-bound-for-sydney-was-suddenly-diverted-to-katunayake-after-being-struck-by-lightning

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා අද (12) අලුයම ගමන් ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයක්, අකුණු සැර වැදීමකට ලක්වීම හේතුවෙන් හදිසියේම නැවත කටුනායක වෙත හරවා එවා තිබේ. ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ තද අකුණු සන්නායකතාව හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, ඉන් අනතුරුව යානය නිරුපද්‍රිතව ගොඩබෑමට ගුවන් නියමුවා පියවර ගත් බවත් ගුවන්තොටුපොළ ප්‍රධාන රාජකාරි නිලධාරියා තහවුරු කළේය.




මෙලෙස අකුණු ප්‍රහාරයට මුහුණ පා ඇත්තේ අද අලුයම 1:00 ට පමණ කටුනායකින් පිටත්ව ගිය, UL-606 දරන එයාර් බස් A330 වර්ගයේ පුළුල් බඳ සහිත ගුවන් යානයකි. මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දෙන අවස්ථාව වන විට යානය තුළ මගීන් 217 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, සිදුවූ ආපදා තත්ත්වයත් සමඟ සිඩ්නි බලා පියාසර කිරීම වහාම අත්හිටුවීමට නියමුවා තීරණය කර ඇත. ඒ අනුව අලුයම 1:40 ට පමණ යානය කිසිදු අනතුරකින් තොරව නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත සාර්ථකව ගොඩබස්වනු ලැබීය.

සිද්ධියෙන් පසුව අදාළ මගී පිරිස කඩිනමින් සිඩ්නි බලා පිටත් කර හැරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එම වර්ගයේම වෙනත් විකල්ප එයාර් බස් A330 යානයක් සූදානම් කිරීමට පියවර ගෙන තිබුණි. එම විකල්ප ගුවන් යානය අද අලුයම 6:06 ට පමණ මගීන් ද සමඟින් කටුනායකින් නැවතත් සිඩ්නි බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ රාජකාරි නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මේ අතර අකුණු ප්‍රහාරයට ලක්වූ ගුවන් යානය සවිස්තරාත්මක පරීක්ෂණ සහ අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ඉංජිනේරු අලුත්වැඩියා අංගනය වෙත දැනට යොමු කර ඇත.