
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයකදී පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු (මල් කළඹ ගෙනා පුද්ගලයා) ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අධිකරණය මඟින් නියම කර ඇත්තේ එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙසයි.
පසුගිය මැයි මස 18 වැනිදා පැවැති ජාතික රණවිරු සැමරුම් උත්සවයට පෙර දිනයේදී සිදුවූ මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රීවරයා අද උදෑසන තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත. එහිදී පොලිසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. මෙම සිදුවීමට අදාළව පොලිසිය විසින් මීට පෙරද අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුවන් පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන විත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.
මේ අතර, ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජූලි මස 24 වැනිදා සිදුකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, දැනට ඇප මත පසුවන විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවකදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබුණේ, නඩු විභාගයේ සාක්ෂි මෙහෙයවීමට පෙර අදාළ පරිගණක උත්පාදිත ලේඛනවලට සම්බන්ධ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බවයි. සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මෙතෙක් එවැනි ප්‍රවේශයක් තමන්ට හිමි නොවීම හේතුවෙන් නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බවද නීතිඥවරයා එදින තර්ක කර තිබුණි. කෙසේ වෙතත්, අද දින පැවැති නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්ති පාර්ශවය පවසන ලේඛන පරිගණකයෙන් උත්පාදනය කළ ඒවා නොවන බවත්, ඒවා ස්කෑන් කර දත්ත පද්ධතිය තුළ ගබඩා කර ඇති ලේඛන පමණක් වන බවත්ය.
එසේ වුවද, විත්ති පාර්ශවයේ ඉල්ලීමට අනුව අදාළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබාදීමට, සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසියක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් විත්ති පාර්ශවයේ නීතිඥවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩිදුර විභාගය එළඹෙන ජූලි මස 24 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
