ඩුබායි රාජ්‍යයේ සිට මෙරට විවිධ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙයවූ බව කියන ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් “ඇල්ටෝ ධර්මේ” නමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පසුගිය 23 වැනිදා රාත්‍රියේ ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු සමඟ ඔහුගේ බිරිඳ සහ සමීපතම ගෝලයන් තිදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙරට පාතාල මර්දන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් ලැබෙන තොරතුරුවලට අනුව, මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ එමීරයේ සුපිරි හෝටලයක පවත්වමින් තිබූ විශේෂ සාදයක් අතරතුරදීය.දිගු කලක් තිස්සේ මෙරට ආරක්ෂක අංශ මගහරිමින් විදේශගතව සැඟවී සිටි මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන (Red Notices) ද නිකුත් කර තිබිණි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ධනංජය ද සිල්වා මහතාගේ පියා වන, එවකට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස සිටි ප්‍රධාන සැලසුම්කරු ලෙස චෝදනා එල්ල වී ඇත්තේ ද මොහුටය.
පොලිස් විමර්ශන වාර්තාවලට අනුව 2017 වසරේදී රත්මලානේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී රන්ජන් ද සිල්වා මහතා සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණි. එම වකවානුවේදී සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, මෙම මනුෂ්‍ය ඝාතනය ඩුබායිහි සිට සම්පූර්ණයෙන්ම සැලසුම් කර මෙහෙයවා ඇත්තේ ඇල්ටෝ ධර්මේ නමැති මෙම පාතාල නායකයා විසින් බවයි. එතැන් පටන් ජාත්‍යන්තර පොලිස් ඇසට වැලිගසමින් විදේශගතව සිටිමින් මෙරට අපරාධ රැල්ලක් මෙහෙයවූ මොහු ඇතුළු පිරිස එරට ආරක්ෂක අංශවල දැලට හසුව ඇත්තේ සුපිරි හෝටලයක ප්‍රීති සාදයක් පවත්වමින් සිටියදීය.
