while-riding-the-bike-darshi-brought-the-dead-branch-that-fell-on-kumaris-head

නොච්චියාගම කුකුල්කටුව මාර්ගයේ ගලේ ඇළ ප්‍රදේශයේදී ඉකුත් 30 වැනිදා පස්වරුවේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නොච්චියාගම, අඹගහවැව පදිංචිව සිටි හතළිස් හතර හැවිරිදි දෙදරු මවක වන දර්ශී කුමාරි හේරත් නමැති තැනැත්තියකි.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසල තිබූ ගසක් ඇයගේ හිස මතට කඩා වැටීම මෙම මරණයට හේතුවී ඇති බව නොච්චියාගම පොලිසිය සඳහන් කරයි.




අනතුර සිදුවූ දින පස්වරු 2.00 ට පමණ මෙම කාන්තාව සිය නිවසේ සිට නොච්චියාගම නගරය වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇත. මාර්ගය අසල තිබූ දිරාගිය ගසක් ඇය ගමන් ගත් දිශාවට හදිසියේම කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේදී ඇය ආරක්ෂිත හිස් වැසුමක් පැලඳ සිටියද ගසෙහි අත්තක් වැදීමෙන් එයද බිඳී ගොස් හිසට මාරාන්තික පහරක් එල්ල වී තිබේ. මාර්ගයේ ගමන් ගත් පිරිසක් වහා ක්‍රියාත්මක වී තුවාල ලබා සිටි කාන්තාව නොච්චියාගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට රැගෙන එන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 30 වැනිදා නොච්චියාගම දිසා රෝහලේදී පවත්වනු ලැබීය. නොච්චියාගම හදිසි මරණ පරීක්ෂක නිමල් සේමසිංහ මහතා ඉදිරියේ වෛද්‍ය චින්තක විජේවර්ධන මහතා විසින් පරීක්ෂණ කටයුතු සිදු කරන ලද අතර පොලිස් සැරයන් (56411) ආර්. විමලසේන මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදී. ගසෙහි අත්ත වැදීමෙන් හිසට සිදු වූ බරපතළ හානි හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම මරණයට හේතුව බව එහිදී නිගමනය කෙරුණු අතර නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

while-riding-the-bike-darshi-brought-the-dead-branch-that-fell-on-kumaris-head