පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් දුරගමන් සේවා බස් රථ සඳහා නව මාර්ගගත (Online) ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. අද (04) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව නිල වශයෙන් නිවේදනය කළා.
ඔහු පෙන්වා දුන්නේ මෙම නව වැඩපිළිවෙළ පළමුවෙන්ම දුරගමන් සේවා සපයන පෞද්ගලික බස් රථ ඉලක්ක කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.මෙම නව ක්‍රමවේදය ඔස්සේ මගීන්ට තම ආසනය කල්තියා වෙන්කර ගැනීමේදී නියමිත බස් ගාස්තුවට අමතරව රුපියල් 30ක සුළු සේවා ගාස්තුවක් අයකෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම නියමු ව්‍යාපෘතිය සඳහා මූලික අවස්ථාවේදී අධිවේගී මාර්ග හරහා ධාවනය වන දුරගමන් පෞද්ගලික බස් රථ සම්බන්ධ කර ගන්නා බවයි.
ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ මාකුඹුර සිට ගාල්ල, මාතර, බදුල්ල සහ මහනුවර දක්වා ධාවනය වන බස් රථ සඳහා මෙම පහසුකම හිමිවනවා. ඊට අමතරව කොළඹ සිට අම්පාර, දෙනියාය, මිද්දෙණිය, මොණරාගල සහ අඟුණකොළපැලැස්ස යන ගමනාන්ත දක්වා ගමන් ගන්නා මගීන්ටද මෙම නව ආසන වෙන් කිරීමේ පහසුකම භාවිත කිරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.
ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරිනී ඉෂාරි සිරිවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට එක්වෙමින් නව පද්ධතිය භාවිත කරන ආකාරය පිළිබඳව පැහැදිලි කළා. ඇය සඳහන් කළේ www.busticket.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112 001266 යන දුරකථන අංකය ඇමතීමෙන් මගීන්ට තම ආසන පහසුවෙන් වෙන්කරවා ගත හැකි බවයි. එසේම, මාර්ගගත ක්‍රමයට අමතරව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණෙන මගීන්ටද මෙම පහසුකම ලබා ගැනීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් සලසා ඇති අතර, ඒ සඳහා මගීන්ට සහාය වීමට විශේෂ කාර්ය මණ්ඩලයක්ද එහි සේවයට යොදවා ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
