kareena-intervenes-in-karishmas-childrens-property-issue

බොලිවුඩ් නිළි කරීනා කපූර් ඛාන් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ සත්‍යයට සහ යුක්තියට සෑම විටම ජය හිමිවන බවයි. ඇය සෘජුවම කිසිදු සිදුවීමක් සඳහන් නොකළද, මෙම අදහස් පළ කිරීම සිදුව ඇත්තේ ඇයගේ සොහොයුරිය වන කරිෂ්මා කපූර්ගේ දරුවන්ට සිය පියාගේ දේපළ සම්බන්ධයෙන් පවතින නඩු විභාගයකදී දිල්ලි මහාධිකරණය මගින් අතුරු සහනයක් ලබා දීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.




අභාවප්‍රාප්ත සංජේ කපූර්ගේ දේපළ බෙදී යාම සම්බන්ධයෙන් කරිෂ්මාගේ දරුවන් වන සමයිරා සහ කියාන් මෙන්ම ප්‍රියා කපූර් අතර පවතින මෙම නෛතික ගැටලුවේදී, අදාළ වත්කම් පරිහරණය කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ප්‍රියා කපූර්ට තාවකාලිකව තහනම් කිරීමට දිල්ලි මහාධිකරණය පියවර ගෙන තිබේ. විනිසුරු ජ්‍යෝති සිංගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත්තේ පෙත්සම්කරුවන් මතු කර ඇති කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බැවින් නඩුව සම්පූර්ණයෙන් විභාග කර අවසන් වන තුරු දේපළ එලෙසම සංරක්ෂණය කළ යුතු බවයි.

මෙම නෛතික ආරවුලට ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ 2025 වසරේ මාර්තු 21 වන දිනැති අන්තිම කැමති පත්‍රයකි. ඉන් සංජේ කපූර්ගේ සමස්ත පෞද්ගලික දේපළ ප්‍රියා වෙත පවරා ඇති බව කියැවෙන අතර, සමයිරා සහ කියාන් චෝදනා කරන්නේ එය ව්‍යාජ එකක් බවයි. තමන්ට සහ තම මිත්තණියට හිමිවිය යුතු උරුමය අහිමි කිරීමේ අරමුණින් සැක සහිත තත්ත්වයන් යටතේ අදාළ ලේඛනය වෙනස් කර ඇති බවට ඔවුන්ගේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.




කෙසේ වෙතත්, අදාළ අන්තිම කැමති පත්‍රයේ සත්‍යතාව සහ වලංගුභාවය පිළිබඳව මෙම අතුරු නියෝගය ලබාදෙන අවස්ථාවේදී තීරණය නොකරන බවත්, එය ඉදිරි නඩු විභාගයේදී තීරණය කෙරෙනු ඇති බවත් අධිකරණය පැහැදිලි කර තිබේ. කරිෂ්මා කපූර්ගේ හිටපු සැමියා වූ සංජේ කපූර්, එක්සත් රාජධානියේ පෝලෝ ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 2025 ජුනි මාසයේදී සිය වයස අවුරුදු 53 දී අභාවප්‍රාප්ත විය.