අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දීමනා දෙවරක් ගෙවා ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය අප්‍රේල් මස සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ප්‍රතිලාභීන්ට එම දීමනා කඩිනමින් ලබා දීම රජයේ මූලික අරමුණ වී තිබූ අතර, ඒ අනුව පළමු සහ දෙවන අදියරේ සියලු ප්‍රතිලාභීන් සඳහා 2026 අප්‍රේල් 10 වන දිනට පෙර අදාළ මුදල් ලබා දීමට කටයුතු කර තිබුණි.
මීට අමතරව මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් විශේෂ දීමනාවක්ද ලබා දීමට රජය තීරණය කර තිබූ බව එම මණ්ඩලය පෙන්වා දෙයි. මෙම විශේෂ දීමනාව යටතේ අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 7,500 ක් ද, දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 5,000 ක් ද සහ අවධානමට ලක්වූ පවුල් සඳහා රුපියල් 2,500 ක මුදලක් ද ගෙවීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය හරහා මසකට දෙවරක් ගෙවීම් කිරීමේ තාක්ෂණික පහසුකම් නොමැති වීම හේතුවෙන්, මෙම විශේෂ අලුත් අවුරුදු දීමනාව පද්ධතියෙන් බාහිරව සකස් කළ ගොනු මගින් ගෙවීමට පියවර ගෙන ඇත.
මෙම හදිසි ගෙවීම් කටයුත්ත සඳහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කර ලිපිගොනු 90,000ක ධාරිතාවයෙන් යුත් SLIP ගොනු ලෙස ලංකා බැංකු පද්ධතියට උඩුගත කර තිබේ. එහිදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් එක් ලිපිගොනුවක් දෙවරක් පද්ධතියට ඇතුළත් වී ඇති අතර, ඒ හරහා 'දුප්පත්' කාණ්ඩයේ ප්‍රතිලාභීන් පිරිසකට ද්විත්ව ගෙවීමක් සිදු වී ඇති බව අනාවරණය වී ඇත. මෙම දෝෂය හඳුනාගත් වහාම අදාළ ගෙවීම් අත්හිටුවීමට සහ බැංකු වෙත දන්වා එම මුදල් මණ්ඩලයේ ගිණුම්වලට නැවත බැර කරවා ගැනීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය වහාම ක්‍රියාත්මක විය.
එලෙස ද්විත්ව ගෙවීම් අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු සිය ගිණුම්වලින් රුපියල් 248,795,000ක මුදලක් ලබාගෙන තිබූ බැවින් එම මුදල් නැවත අය කර ගැනීම බැංකු මගින් සිදු කළ නොහැකි වී තිබේ. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන් අමතරව ලබාගත් මුදල එළඹෙන මැයි මාසයේ අස්වැසුම දීමනාවෙන් අඩු කර ගැනීමට මේ වන විටත් කටයුතු සැලසුම් කර ඇති බව මණ්ඩලය අවධාරණය කරයි. මෙම සිදුවීම හේතුවෙන් රජයට කිසිදු ආකාරයක මූල්‍ය අලාභයක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී නොමැති බවත්, සේවා අවශ්‍යතාව මත කඩිනමින් ගෙවීම් කිරීමට යාමේදී ඇති වූ තාක්ෂණික හේතුවක් මත පමණක් මෙය සිදුවූ බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
