due-to-an-unusual-fever-spreading-in-deniya-four-schools-are-closed

මාතර දෙනියාය අධ්‍යාපන කලාපය තුළ පාසල් සිසුන් සහ ගුරුවරුන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින උණ රෝගයක් හේතුකොටගෙන හෙට (08) දිනයේදී එම කලාපයේ ප්‍රධාන පාසල් හතරකට නිවාඩු ලබාදීමට බලධාරීන් පියවර ගෙන ඇත.




මෙම තීරණයට අනුව තාවකාලිකව වසා තැබෙනු ලබන්නේ දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය සහ දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලයයි.

අදාළ පාසල් තුළ සිසුන් මෙන්ම ගුරු භවතුන් ද විශාල වශයෙන් මෙම උණ රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වන අතර, රෝගය තවදුරටත් පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළාය.




පවතින අවදානම් සහගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් මව්පියන් වෙත විශේෂ දැනුම්දීමක් ද සිදුකර ඇති අතර, යම් හෙයකින් දරුවන්ට උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. ඊට අමතරව රෝග නිවාරණය සඳහා ලබා දී ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීමේ වැදගත්කම ද බලධාරීන් විසින් තවදුරටත් අවධාරණය කර තිබේ.