පළාත් සභා මැතිවරණය කල් නොදමා වහාම පවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සෘජු අභියෝගයක් එල්ල කර තිබේ. කොළඹ මාලිගාවත්ත පී.ඩී.
සිරිසේන ක්‍රීඩාංගණයේදී මැයි පළමුවැනිදා පැවති සමගි ජන සන්ධානයේ මැයි දින රැලිය අමතමින් ඔහු අවධාරණය කළේ, මෙය හුදෙක් දේශපාලන ප්‍රකාශයක් පමණක් නොව ආණ්ඩුවේ ජනතා ප්‍රසාදය මැන බැලීම සඳහා තමන් සිදු කරන ප්‍රායෝගික අභියෝගයක් බවයි. එසේම, ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් පසු එළඹෙන මැයි දිනය සමගි ජන බලවේගයේ මහ ඇමතිවරුන් සමග සමරන බවට ද විපක්ෂ නායකවරයා එහිදී දැඩි විශ්වාසයක් පළ කළේය.වත්මන් ජනතා විමුක්ති පෙරමුණු පාලනය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ විපක්ෂ නායකවරයා, මෙම රජය විසින් සියලුම රාජ්‍ය ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට චෝදනා කළේය. වරායෙන් කන්ටේනර් පිටකිරීම, බාල ගල්අඟුරු ගෙන්වීම සහ ඩොලර් ලක්ෂ විසිපහක ජාතික සම්පත් සොරකම් කිරීම වැනි මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු වගකීමක් භාරගෙන නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. හොරුන් අල්ලන බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය, මේ වන විට 'පැලවත්තේ පච වළල්ල' හරහා අලුතින් හොරුන් නිර්මාණය කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ මැදිහත්වීම සහ අවධානය නොමැති වූයේ නම් මෙම දූෂණ සහ අක්‍රමිකතා තවදුරටත් කිසිදු බාධාවකින් තොරව සිදුවනු ඇති බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. ව්‍යාජ සහතික සහිත කථානායකවරයෙකු මෙන්ම ලක්විජය බලාගාරයට බාල ගල්අඟුරු ගෙන්වූ අමාත්‍යවරයා සහ ඊට සම්බන්ධ ලේකම්වරයා සති කිහිපයක් ඇතුළත ගෙදර යැවීමට සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එක්ව තම සන්ධානයට හැකි වූ බව ඔහු සිහිපත් කළේය.
ගොවි, ධීවර, කම්කරු මෙන්ම වෘත්තීයවේදීන් ඇතුළු සමස්ත ජනතාව අද වන විට දැඩි අසරණභාවයකට පත්ව ඇති බවත්, 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට පොරොන්දු වූ රුපියල් ලක්ෂ දහයේ සහ කෝටියේ වන්දි මුදල් මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. ජනතාව අමතක කරන වසර හැත්තෑ හයක පැරණි දේශපාලන ක්‍රමය වෙනුවට, ජනතා ගැටලුවලට සැබෑ විසඳුම් සපයන නව දේශපාලන සංස්කෘතියක් තම සන්ධානය යටතේ හඳුන්වා දෙන බව ඔහු පැවසීය. ඊට සමගාමීව 'සක්වල' සහ 'හුස්ම' සමාජ සත්කාරක වැඩසටහන් තවදුරටත් ඉදිරියට ගෙන යන බවත්, ස්මාර්ට් රටක් ගොඩනැගීමේ අරමුණින් පාසල් පද්ධතියට කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත නවීන අධ්‍යාපනය හඳුන්වා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ විපක්ෂ නායකවරයා, පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා යෝජනා කළ කමිටුව තවදුරටත් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය මේ වන විටත් එක්වී අවසන් බවත්, එම එකමුතුව කඩාකප්පල් කිරීමට උත්සාහ කරන සුළුතර කුමන්ත්‍රණකරුවන්ට මින් ඉදිරියට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ඔහු තරයේ කියා සිටියේය.
