පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අනුරාධපුරයට ගොස් වැඩවාසය කරන විහාරස්ථානය වටලා තිබේ. සමාජය තුළ දැඩි කතාබහක් සහ සංවේගයක් නිර්මාණය කර ඇති අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගත් මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ අටමස්ථානාධිපති හිමියන් බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා යැයි කියන පුද්ගලයෙකු සමග රැඳී සිටියදී ප්‍රථමයෙන් මෙම දැරිය පොලිස් භාරයට ගෙන ඇත. එහිදී වින්දිත දැරිය පොලීසියට අනාවරණය කර ඇත්තේ සිය මව විසින් මුදල් ලබාගෙන ඊට හිලව්වක් වශයෙන් අදාළ විහාරාධිපතිවරයාට මෙන්ම තවත් ව්‍යාපාරිකයෙකුට ද තමාව අපයෝජනය කිරීම සඳහා ලබාදුන් බවයි. වරින් වර අවස්ථා කිහිපයකදීම අදාළ හිමියන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතින් තමා අපයෝජනයට ලක්වූ බවට දැරිය කළ ප්‍රකාශය මත පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ අදාළ හිමිනමගෙන් කරුණු විමසීමෙන් අනතුරුව අපරාධය සිදුවූ බව කියන ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් ද සිදුකළ බවයි. මේ වනවිට විද්‍යාත්මක සහ ස්ථානීය පරීක්ෂණ අවසන් කර වැඩිදුර සාක්ෂි රැස්කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ වාරවලදී කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත. එසේම, වින්දිත දැරියගේ ආරක්ෂාව සහ ඇයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක උපදේශනය ලබාදීම කෙරෙහි ද අදාළ අංශවල අවධානය යොමුව තිබේ.
මෙම බරපතළ සිදුවීම සම්බන්ධයෙන් රජයේ ඉහළම අවධානය යොමුව ඇති අතර, සමාජයේ මතුව ඇති දැඩි උනන්දුව පදනම් කරගනිමින් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් වහාම තමන් වෙත ලබාදෙන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
