මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා වන ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ (50) මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය හා පහළොස් හැවිරිදි දියණිය ලබාදී ඇති සාක්ෂි මේ සමග පළවේ.
රංග නිශාන්ත රාජපක්ෂ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියකු වන අතර, වැඩිමල් දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකි. දෙවැන්නා පාසල් සිසුවියකි.රංග නිශාන්ත මහතාගේ බිරිඳ කුලියාපිටිය සුරදූතිකා බාලිකා විද්‍යාලයේ ගුරුවරියකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු හෙළි කරමින්, පාසල් සිසුවියක වන රංග මහතාගේ 15 හැවිරිදි දියණිය මෙසේ පවසා ඇත.
"අප්පච්චි පිහියෙකුත් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට අප්පච්චි කිව්වා වත්ත ටිකක් වත්ත සුද්ද කරන්න යන්න එළිපෙහෙළි කරන්නයි යන්නේ කියලා. උදේට කාලා යන්න කිව්වාම, 'කාලා පස්සේ එන්නම්' කියලා ගෙදරින් එළියට බැස්සා. මොනවද කන්න තියෙන්නේ කියලත් අප්පච්චි මගෙන් ඇහුවා. මම කිව්වා 'අප්පච්චි කඩල තම්බලා තියෙන්නේ' කියලා.'මම වත්තට ගිහින් ඉක්මනට එන්නම්' කියලා අප්පච්චි වත්ත පහළට ගියා. අපි එදා හවස මහනුවර දළදා මාලිගාවට යන්න සූදානම් වෙලා තමයි හිටියේ"
බුලත් කොරටුවේ වැඩ කරන මාමලා කිව්වා අප්පච්චි ලේ ගලන තුවාල සහිතව වැටිලා ඉන්නවා කියලා. පස්සේ බුලත් කොරටුවේ වැඩ කරන අය අප්පච්චිව ගෙදරට අරගෙන ආවා. කකුල් දෙකෙන් ලේ ගලාගෙන ගොස් තිබුණා. පසුව අප්පච්චි මියගොස් ඇති බව දැනගැනීමට ලැබුණා. අද හවස අපි දළදා මාලිගාව වඳින්න යන්න සූදානම් වෙලා සිටියා. අනේ අප්පච්චි අපිට කොච්චර ආදරෙයිද. එයා නිතරම අපි ගැන හොයලා බැලුවා. හොඳට ඉගෙනගන්න කියලා තමයි නිතරම කිව්වේ. අක්කා කැම්පස් එකට තේරුණු දාත් අප්පච්චි හරියට සතුටු වුණා.
අප්පච්චිගේ ලෝකය වෙලා තිබුණේ අක්කයි, මමයි, අම්මයි තමයි. එහෙම අප්පච්චි කෙනෙක් තමයි අපිට මේ නැති වුණේ. අප්පච්චි නැති පාඩුව කියා නිම කරන්න බැහැ."
මියගිය රංග රාජපක්ෂ මහතාගේ බිරිඳ මෙසේ පවසා ඇත.
"මියගොස් සිටින්නේ මගේ සැමියායි. අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමල් දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා. මම පාසල් ගුරුවරියක් ලෙස සේවය කරනවා. දරුවොත් එක්ක අපි හොඳ පවුල් ජීවිතයක් ගත කළා.
මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකර්වරයකු අතට පත් වූයේ යැයි කියන සිද්ධියට අදාළව තමයි සැමියාගේ රැකියාව අත්හිටුවා තිබුණේ. ඒ ගැන සැමියා හරිම කනගාටුවෙන් හිටියේ. නිතරම කල්පනා කළා. සමාජයට මුහුණ දෙන්න බැහැ කියා සැමියා නිතර කිව්වා. මටයි දරුවො දෙන්නටයි පුදුම ආදරයක් තිබුණේ.
පෙර දිනයේ සැමියා කිව්වා අපි දළදා මාලිගාවට ගොස්, ඊට පස්සේ මොරටුවට ගිහින් කැම්පස් එකේ ඉන්න දුවවත් එක්කගෙන කුලියාපිටියේ ගෙදර එමු කියලා. ඒ නිසා මම ඉස්කෝලෙට ගිහින් ෂෝට් ලීව් එකක් දාලා ගෙදර ආවා. මහනුවර ගිහින් දළදා මාලිගාව වැඳලා, මොරටුව කැම්පස් එකට ගිහින් දුවව එක්කගෙන එන්න යන්න සූදානම් වෙලා ඉද්දි තමයි මේ සිද්ධිය වුණේ.
අතකින් සහ පාද දෙකෙන් ලේ ගලමින් සිටි නිසා ඉක්මනට රෝහලට රැගෙන යන්න හිතාගෙන මම සුව සැරිය ගිලන් රථ සේවයට කතා කළා. ගිලන් රථය ඇවිත් ඒකෙන් ආපු අය පරීක්ෂා කරලා කිව්වා සැමියා මියගොස් ඇති බව. පසුව මම මේ සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසියට පැමිණිලි කළා.
මහත්තයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මමයි දුවලා දෙන්නයි මේ ලෝකෙ තනි වුණා"
රංග රාජපක්ෂ මහතාගේ ගෙවත්තේ බුලත් කොරටුවක්ද පිහිටා ඇත. කෙසෙල් පඳුරක් පිහිටි තැනකට ගොස් එම කෙසෙල් පඳුරට හේත්තු වී වාරු ගෙන පිහියකින් පාද දෙක කපාගෙන ඇති බව එම ස්ථානීය පරීක්ෂණයේදී පෙනී ගිය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. පාද දෙක කපා ගැනීමට යොදා ගත් බවට සැලකෙන පිහියද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මෙම පිහිය වසර ගණනාවක සිට එම නිවසේ තිබුණු එකක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. එම පිහියේ ලේ තැවරී තිබෙන බව පොලිසිය කියයි. ලේ ගලන තුවාල සහිතව ඇවිදගෙන එද්දී රංග රාජපක්ෂ මහතා ඇද වැටී ඇතැයි පොලිසිය පවසයි. පසුව බුලත් කොරටුවේ වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු දැක ඔහුව නිවසට ඔසවාගෙන පැමිණ ඇත.
රංග රාජපක්ෂ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය සම්පත් සේනතුංග සහ නිකවැරටිය මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය යූ.ඩී.ජී. දිසානායක යන මහත්වරුන් මියගිය රංග රාජපක්ෂ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත්කර ඇත.
මෙම සිවු පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායම පත් කර ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසිනි. ඔවුන් ඊයේ මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට තීරණය කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම නිගමනය කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ සිරුරේ ඇති සියලුම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බව දන්වා තිබුණි.
