එන්.එස්.බී.එම්. හරිත සරසවියේ පාලන අධිකාරිය වන නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ආයතනයට එරෙහිව සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වරදකරු වූ සංජය මහවත්ත නැමැත්තාට රුපියල් මිලියන 500ක අතිවිශාල වන්දි මුදලක් ගෙවීමට කොළඹ දිසා අධිකරණය විසින් නියෝග කර ඇත.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ, අදාළ වගඋත්තරකරු විසින් සිදු කරන ලද ප්‍රකාශ මගින් සිය කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 250ක් බැගින් ඉල්ලා පැමිණිලිකාර සමාගම විසින් ගොනු කරන ලද නඩුකර දෙකක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
විත්ති පාර්ශ්වයේ සහභාගීත්වයකින් තොරව, ඒක පාර්ශ්විකව මෙම නඩු විභාගය පවත්වා ඇති අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව, දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් පැමිණිලිකාර පාර්ශ්වය විසින් තම සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
ඉදිරිපත් වූ එම සාක්ෂි විත්තිය විසින් අභියෝගයට ලක් කර නොමැති බැවින්, පැමිණිල්ලේ නඩු නිමිත්ත සාධාරණව ඔප්පු වී ඇති බව කොළඹ දිසා අධිකරණය මෙහිදී නිගමනය කළේය. සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ කීර්තිනාමයක් සහිත අදාළ අධ්‍යාපන ආයතනයට එවැනි අපහාසයක් කිරීමේ නෛතික අයිතියක් විත්තිකරුට නොමැති බව අවධාරණය කළ විනිසුරුවරයා, ගොනු කර ඇති නඩු දෙක සඳහා රුපියල් මිලියන 250 බැගින් එකතුව රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙසට වගඋත්තරකරුට නියම කළේය.
නියමිත වන්දි මුදල මුළුමනින්ම ගෙවා නිම කරන තුරු ඊට අදාළ නෛතික පොලියද ගෙවීමට විත්තිකරු බැඳී සිටින බව අදාළ අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් දැක්වේ. මීට අමතරව, අදාළ සමාගමට එරෙහිව යළිත් වරක් මාධ්‍ය සාකච්ඡා කැඳවීම හෝ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සහ තොරතුරු මුදාහැරීම වළක්වාලමින් අධිකරණය විසින් විත්තිකරුට එරෙහිව ස්ථිර තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.
