පාපන්දු ක්‍රීඩකයින් ක්‍රීඩා පිටිය තුළදී තම අත්වලින් හෝ කමිසයෙන් මුව වසාගෙන රහසින් කතා කරන දර්ශන වසර ගණනාවක සිට අපට ඉතා සුලභ දසුනකි. බොහෝ විට රූපවාහිනී කැමරාවලින් තම කතාබහ කියවීම (lip-reading) වැළැක්වීමට සහ තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ඔවුන් මෙලෙස ක්‍රියා කරයි.
නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ (Gianni Infantino) ගෙන එන නවතම නීතියක් හේතුවෙන් මෙම ක්‍රියාව ඉදිරියේදී රතු කාඩ්පතක් (Red card) ලැබීමට පවා හේතු විය හැක. "ඔබට සැඟවීමට කිසිවක් නැත්නම්, ඔබ මුව වසාගත යුතු නැහැ. ඔබට කියන්නට හොඳ දෙයක් තිබේ නම්, කැමරා ඉදිරියේ වුවද එය විවෘතව පැවසිය හැකියි," යනුවෙන් ඔහු මේ පිළිබඳව අදහස් දක්වා ඇත.මෙම නව නීතිය ප්‍රධාන වශයෙන් ගෙන එනු ලබන්නේ ක්‍රීඩකයන් අතර ඇතිවන ගැටුම්කාරී අවස්ථාවලදී ප්‍රතිවාදීන්ට අපහාස කිරීම, වාර්ගික හෝ සමලිංගිකත්වයට එරෙහි (homophobic) අපහාස කිරීම් සහ තර්ජන මැඩපැවැත්වීමේ අරමුණෙනි. ඒ අනුව, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇතිවන උණුසුම් වචන හුවමාරුවකදී යම් ක්‍රීඩකයෙකු තම මුව වසාගෙන කතා කරන්නේ නම්, එය වෙනත් ක්‍රීඩකයෙකුට අපහාස කිරීමට දරන උත්සාහයක් ලෙස සලකා විනිසුරුවරයාට ඔහුට රතු කාඩ්පතක් ලබා දීමේ බලය හිමි වේ. කෙසේ වෙතත්, තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ හෝ සාමාන්‍ය සුහද කතාබහකදී මුව වසාගෙන කතා කිරීම තවදුරටත් ගැටලුවක් නොවේ.
මෙම දැඩි තීරණයට පදනම වී ඇත්තේ මෑතකදී යුරෝපීය චැම්පියන්ස් ලීග් (Champions League) තරගාවලියක් අතරතුරදී රියාල් මැඩ්රිඩ් (Real Madrid) කණ්ඩායමේ විනිසියස් ජූනියර් (Vinicius Jr.) සහ බෙන්ෆිකා (Benfica) කණ්ඩායමේ ජියන්ලුකා ප්‍රෙස්ටියානි (Gianluca Prestiani) අතර ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමයි. එහිදී ප්‍රෙස්ටියානි තම කමිසයෙන් මුව වසාගෙන විනිසියස් දෙසට යම් ප්‍රකාශයක් කළ අතර, එය වාර්ගික අපහාසයක් බව පවසමින් විනිසියස් වහාම විනිසුරුවරයාට පැමිණිලි කළේය. මෙහිදී විනිසුරුවරයා විසින් වර්ගවාදයට එරෙහි 'X' සංඥාව ප්‍රදර්ශනය කළ අතර, තරගය විනාඩි 10 ක පමණ කාලයක් සඳහා නතර කිරීමටද සිදු විය.
මෙම සිදුවීමෙන් පසු සිදු කරන ලද පුළුල් පරීක්ෂණයේදී හෙළි වූයේ ප්‍රෙස්ටියානි විසින් වාර්ගික අපහාසයක් සිදු කර නොමැති වුවද, ඔහු විසින් සමලිංගිකත්වයට එරෙහි ප්‍රකාශයක් සිදු කර ඇති බවයි. ඔහු විසින්ම එම වරද පිළිගැනීමෙන් අනතුරුව UEFA විසින් ඔහුට තරග හයක තහනමක් පනවනු ලැබීය. මෙම සිද්ධියේදී ඔහු එම ප්‍රකාශය කරන ආකාරය සෘජුවම කැමරාවේ සටහන් වී නොතිබීම සහ ක්‍රීඩකයාගේම පිළිගැනීම මත පමණක් දඬුවම් නියම කිරීමට සිදුවීම, මෙවැනි නව නීතියක අවශ්‍යතාවය ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලයට (IFAB) සහ FIFA ආයතනයට දැඩිව ඒත්තු ගැන්වීය.
පාපන්දු නීති පොතේ 12 වන නීතියට අනුව දැනටමත් අපහාසාත්මක හෝ තර්ජනාත්මක භාෂාවක් භාවිත කිරීම රතු කාඩ්පතක් ලැබෙන වරදකි. එහිදී සාමාන්‍ය බැණවැදීමක්, පෞද්ගලික අපහාසයක් හෝ වාර්ගික, ලිංගික හා තර්ජනාත්මක අපහාසයක් යන්න වෙන් වෙන්ව හඳුනාගැනේ. නමුත් නව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ ක්‍රීඩකයෙකු පැවසූ දෙය නිවැරදිවම තහවුරු කරගැනීමයි. මින් ඉදිරියට එය පැහැදිලි සාක්ෂි මත පමණක් නොව, පිටියේ සිටින විනිසුරුවරයාගේ, සහායක විනිසුරුවන්ගේ සහ VAR තාක්ෂණයේ නිරීක්ෂණ මෙන්ම, සිදුවීමේ ස්වභාවය සහ අනෙක් ක්‍රීඩකයාගේ ප්‍රතික්‍රියාව මත පදනම්ව විනිසුරුවරයාගේ අභිමතය පරිදි තීරණය වනු ඇත.
මීට අමතරව, ක්‍රීඩා පිටිය තුළ මෙන්ම ප්‍රේක්ෂකාගාරය තුළ ඇතිවන මෙවැනි අපහාසාත්මක හැසිරීම් පාලනය කිරීම සඳහා FIFA ආයතනය දැනටමත් පියවර තුනකින් යුත් ක්‍රියාපටිපාටියක් (three-step protocol) ක්‍රියාත්මක කරයි. යම් අපහාසයක් වාර්තා වූ වහාම පළමුව තරගය නතර කර ක්‍රීඩාංගණයේ නිවේදනයක් නිකුත් කෙරේ. දෙවනුව, තත්ත්වය පාලනය නොවේ නම් තරගය යම් කාලයකට අත්හිටුවීමට පියවර ගැනේ. ඉන්පසුවත් ක්‍රීඩකයන්ට පිටියේ රැඳී සිටීමට අකමැත්තක් ඇත්නම් අවසාන පියවර ලෙස තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමා ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කෙරේ.
මෙම නව නීතිය සම්බන්ධයෙන් පාපන්දු ලෝලීන්ගේ අදහස් බෙදී ගොස් තිබේ. ඇතැමුන් පවසන්නේ මුව වසාගෙන කතා කිරීම වෙනුවෙන් රතු කාඩ්පතක් ලබා දීම තරමක් අන්තගාමී තීරණයක් බවත්, එයට කහ කාඩ්පතක් ප්‍රමාණවත් බවත්ය. නමුත් තවත් පිරිසක් පෙන්වා දෙන්නේ සාමාන්‍ය සේවා ස්ථානයකදී මෙවැනි වාර්ගික හෝ වෙනත් අපහාසයක් සිදුකළහොත් ලැබෙන දැඩි දඬුවම් පාපන්දු ක්‍රීඩකයින්ටද එකසේ අදාළ විය යුතු බවත්, මෙවැනි ක්‍රියාවන් පාපන්දු ක්‍රීඩාවෙන් මුලිනුපුටා දැමීමට FIFA ගන්නා උත්සාහය නිවැරදි බවත්ය.
(BBC ඇසුරිනි)
