ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මළුව පරිශ්‍රයේ ටෙරාකොටා ගඩොල් ඇතිරීම හේතුවෙන් බෝධීන් වහන්සේට කිසියම් ආකාරයක අහිතකර බලපෑමක් එල්ල වී තිබේද යන්න පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්ගේ සහාය ඇතිව මෙම පුළුල් විද්‍යාත්මක තක්සේරුව සිදු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩ මළුව මෙන්ම පහළ මළුව ආශ්‍රිත වැලි තලාව මත මෙලෙස ටෙරාකොටා අතුරා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව බව අනාවරණය වේ. මේ හේතුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් සිදු කරන විද්‍යාත්මක නිරීක්ෂණවලදී මෙම ටෙරාකොටා ඇතිරීම බෝධීන් වහන්සේගේ පැවැත්මට නුසුදුසු බව තහවුරු වුවහොත්, එම සියලුම ඇතිරීම් වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
මෙම විශේෂඥ පරීක්ෂණ මණ්ඩලය පත් කිරීමට අදාළ නිල යෝජනාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශන සභාව වෙත දැනටමත් ඉදිරිපත් කර තිබේ. මේ අතර, ශ්‍රී මහා බෝධී පරිශ්‍රයට විවිධ දූවිලි අංශු මෙන්ම වාහන දුම් මඟින් සිදුවන බලපෑම් පිළිබඳවද විද්‍යාත්මක තක්සේරුවක් සිදු කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකයන් කණ්ඩායමක් සිය ස්වේච්ඡා දායකත්වය සැපයීමට කැමැත්ත පළ කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීමටද ඔවුන් එකඟතාව පළ කර ඇත.
මෝටර් රථ වාහනවලින් නිකුත් වන දුමාරය නිසා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විධිමත් විද්‍යාත්මක තක්සේරුවක් සිදු කර නොමැති අතර, මෙම නව පර්යේෂණය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනටමත් අනුමැතිය ලබා දී තිබේ. අදාළ පර්යේෂණ කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමට නියමිත විද්‍යාත්මක වාර්තාව පදනම් කර ගනිමින්, බෝධි පරිශ්‍රය තුළ පහන් දැල්වීම වැනි ආගමික වතාවත් සිදු කළ යුතු නිශ්චිත ස්ථාන ඉදිරියේදී තීරණය කිරීමට නියමිතය.
