ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට මහාචාර්ය කපිල පෙරේරා මහතා තීරණය කර තිබේ. එම අමාත්‍යාංශයේම සේවය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සතියේ ලබා දෙන ලද ඓතිහාසික නඩු තීන්දුවක් මෙම කඩිනම් ඉල්ලා අස්වීමට සෘජුවම හේතු වී ඇත.
තමන් ධුරයෙන් ඉවත් වන බව මහාචාර්යවරයා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර, මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පාලන තන්ත්‍රයේ ලේකම් ධුරයෙන් මෙලෙස සමුගන්නා ඒ මහතා ඉදිරියේ දී නැවතත් සිය විශ්වවිද්‍යාලයීය අධ්‍යයන සේවය සඳහා සක්‍රීයව එකතු වීමට නියමිතය. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස මීට පෙර දීර්ඝ කාලයක් කටයුතු කර ඇති මහාචාර්ය කපිල පෙරේරා මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද වගකීම් උසුලා ඇති ප්‍රමුඛ පෙළේ නිලධාරියෙකි.රටේ දේශපාලන පාලනය කලින් කලට පත්වන මැති ඇමතිවරුන් මත තීරණය වුවද, අමාත්‍යාංශවල සැබෑ පරිපාලන වගකීම පැවරෙන්නේ රාජ්‍ය පරිපාලන විභාග සමත් නිලධාරීන්ටය. කෙසේ වෙතත්, ආණ්ඩු මාරුවීමේදී දක්ෂ නිලධාරීන් පලවා හැර තමන්ට හිතවත් පිරිස් පත් කරගැනීමේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදය වත්මන් ජාතික ජන බලවේග රජය සමයේ ද දකින්නට ලැබුණි. ඒ අනුව පරිපාලන නිලධාරියෙකු නොවන ආචාර්ය සනත් නන්දන කුමානායක මහතා ජනාධිපති ලේකම් පුටුවේ වාඩි කරවූ අතර, එතෙක් වරාය කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ ප්‍රභාත් මලවිගේ මහතා මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ධුරවලින් ඉවත් කෙරුණි. මෙම දේශපාලන සන්දර්භය තුළ පරිපාලන සේවයට අයත් නොවන මහාචාර්ය කපිල පෙරේරා මහතා ද අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කෙරුණු අතර, ඔහු යටතේ සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වූ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාට ද සිය ධුරය අහිමි වීමේ අසාධාරණයට මුහුණ දීමට සිදු විය.
මෙලෙස අසාධාරණයට ලක් වූ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා, 1988 වසරේදී රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වූ වසර 30 ක පමණ දීර්ඝ හා පරිණත පළපුරුද්දක් සහිත නිලධාරියෙකි. සහකාර ලේකම්වරයෙකු ලෙස සිය සේවය ආරම්භ කර, තවලම, නාගොඩ, හික්කඩුව, බද්දේගම වැනි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස ද, මුදල් අමාත්‍යාංශයේ තනතුරුවල මෙන්ම ගම්පහ දිසාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ ඔහුට, ආණ්ඩු මාරුවෙන් පසු ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර පසුව ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයේ නිලධාරියෙකු ලෙස රැඳී සිටියේය. ඉන් අනතුරුව 2024 දෙසැම්බර් මස 10 වනදා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ඔහුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වරාය හා නාවික අංශයේ අතිරේක ලේකම් තනතුරට පත් කිරීමට පියවර ගැනුණි.
පෙත්සම්කාර සත්‍යානන්ද මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2024 දෙසැම්බර් මස 18 වනදා තමන් නිසි පරිදි නව තනතුරේ වැඩ භාරගෙන, ඒ පිළිබඳව වට්ස්ඇප් පණිවුඩයක් මාර්ගයෙන් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුවත් කර හමුවීමට වේලාවක් ඉල්ලා සිටි බවයි. එහෙත් එදින දහවල් 12.30 ට පමණ තමන් රැඳී සිටි නිල කාමරයට පැමිණි අමාත්‍යාංශ ලේකම්වරයා, "ඔබගේ සේවය මෙහි අවශ්‍ය නැත" යැයි පවසමින් වහාම කාර්යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙස තමන්ට නියෝග කළ බව ඔහු අනාවරණය කළේය. අමාත්‍යාංශයේ වාහන හෝ වෙනත් කිසිදු පහසුකමක් භාවිත නොකරන ලෙස බල කරමින්, උසස් රාජ්‍ය නිලධාරියෙකුට කිසිසේත්ම නොගැලපෙන අයුරින් කේන්ති ගොස් තදින් කළ මෙම හැසිරීම නිසා තමා දැඩි ලෙස අසරණ වී අවමානයට මෙන්ම බරපතල මානසික කනස්සල්ලට පත් වූ බවත්, ආරක්ෂක අංශ ලවා තමා පිටමන් කරනු ඇතැයි බියෙන් අවසානයේ කුලී රථයකින් නිවස බලා යාමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් මුළුමනින්ම පාගා දමා ඇති බැවින් ඒ වෙනුවෙන් සාධාරණත්වයක් ඉල්ලා සිදුවීමෙන් මසක් ගත වීමට මත්තෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සම දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් පසුගිය 19 වැනිදා අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී විනිසුරුවරයා විශේෂයෙන් පෙන්වා දුන්නේ 2022 දෙසැම්බර් 14 වන දා නිකුත් කළ අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ අන්තර්ගත රාජ්‍ය සේවා කොමිෂන් සභා රීතිවල 107 වන රීතියට අනුව, අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ පරම හා ව්‍යවස්ථාපිත බලය පවතින්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පමණක් බවයි. එමෙන්ම එම රීතිවල 61 වගන්තිය ප්‍රකාරව, නීත්‍යානුකූල රාජකාරියකදී හැර සෘජුව හෝ වක්‍රව රාජ්‍ය සේවා කොමිසමේ තීරණයකට බලපෑම් කිරීමට හෝ බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම තැනැත්තෙකු වරදකරුවකු වන බවත්, එවැනි වරදකට රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසර 7 ක සිරදඬුවමක් හෝ එම දඬුවම් යුගලයම පැනවිය හැකි බවත් තීන්දුවේ පැහැදිලිවම අවධාරණය කෙරුණි.
ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසම විසින් කරන ලද නීත්‍යානුකූල පත් කිරීමකට අත්තනෝමතික ලෙස මැදිහත් වෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කිරීම රටේ නීතියේ ආධිපත්‍යය (Rule of Law) බරපතල ලෙස අඩපණ කිරීමක් මෙන්ම, පොදු ජනතාව උසස් නිලධාරීන් කෙරෙහි තබා ඇති විශ්වාසය මුළුමනින්ම කඩ කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේය. රාජ්‍ය නිලධාරියෙකු යනු ජනතාවගේ පොදු භාරකරුවෙකු වන අතර, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පරිපාලනමය අධීක්ෂණ බලතල තිබූ පමණින් රාජ්‍ය සේවා කොමිසමට පමණක් වෙන්ව ඇති ව්‍යවස්ථාපිත බලතල තමා යටතට ගැනීමට උත්සාහ කිරීම බරපතල වරදකි. වගඋත්තරකාර ලේකම්වරයා විසින් පෙත්සම්කරුට හිමි විය යුතු වෘත්තීය හා පුද්ගලික ගෞරවය නීති විරෝධී ලෙස කෙලෙසා ඇති බැවින්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ” මූලික මිනිස් අයිතිවාසිකම සෘජුවම උල්ලංඝනය කර ඇති බවට උත්තරීතර අධිකරණය ඒකමතිකව තීන්දු කළේය. මෙම තීන්දුව ලැබෙන විට සත්‍යානන්ද මහතා විශ්‍රාම ලබා සිටි අතර, තමන්ට අහිමි වූ වෘත්තීය ගෞරවය මුදලින් තක්සේරු කළ නොහැකි බැවින් ඔහු කිසිදු වන්දි මුදලක් ඉල්ලා නොසිටි අතර අධිකරණය ද වන්දි නියම කිරීමෙන් වැළකී සිටියේය.
