the-two-gmoa-doctors-responsible-for-the-babys-death-due-to-the-strike-have-been-suspended

මව්කුසක මාස නවයක් පුරා සුරක්ෂිතව වැඩුණු බිළිඳෙකු මෙලොව එළිය දකින මොහොතේ ජීවිතයෙන් සමුගැනීම තරම් ඛේදවාචකයක් තවත් නැත.




රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනයක් පැවති පසුගිය අප්‍රේල් 09 වැනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් බිළිඳෙකුගේ මරණයට වගකිව යුතු බව කියන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

එදින පෙරවරු 8.45ට පමණ රෝහලේ සූතිකාගාරයේදී මවක දරු ප්‍රසූතියක් සඳහා සූදානම් වෙමින් සිටියදී දරුවාට අසූචි පෙවී දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇත. ඒ මොහොතේ වාට්ටුව භාර වෛද්‍යවරිය විසින් අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියට අවස්ථා හයකදී දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් තත්ත්වයේ බරපතළකම දැඩිව දැනුවත් කර තිබේ. එහෙත්, අවසන් හුස්ම පොද වෙනුවෙන් සටන් කළ ඒ අසරණ බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට එම වෛද්‍යවරුන් දෙපළගෙන් කිසිවෙකුත් සූතිකාගාරය වෙත පැමිණ නැත.




සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම බිහිසුණු ඛේදවාචකය රජයේ රෝහල තුළ සිදුවෙද්දී, අදාළ වෛද්‍යවරුන් දෙදෙනාම ආසන්නයේ පිහිටි පෞද්ගලික රෝහලක වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කරමින් සිට ඇති බවයි. වෛද්‍ය වෘත්තියේ උත්තරීතර ආචාරධර්ම බිඳ දමමින්, තම වගකීම පැහැර හැරීමට අමතරව ඔවුන් පසුව රජයේ රෝහලේ රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් යොදා තමන් සේවයේ නිරත වූ බව පෙන්වීමටද දරන ලද උත්සාහය පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මෙලෙස බරපතළ විෂමාචාරයන්ට ලක්ව වැඩ තහනමට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන දෙදෙනායි.

වැඩ තහනම් කාලසීමාව තුළ මෙම වෛද්‍යවරුන්ට විදෙස්ගත වීම තහනම් කර ඇති අතර, පදිංචිය වෙනස් කරන්නේ නම් ඒ බව බලධාරීන්ට දැනුම් දිය යුතු බවටද නියෝග කර තිබේ. අහිංසක ජීවිත මරණයට පත් කරමින් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හමුවේ වෘත්තීය සමිති අරගලවල සැබෑ මුහුණුවර සහ සදාචාරය පිළිබඳව සමාජය තුළ දැන් මතුව ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි.



ලෙඩ දුක් සුවපත් කරනු ඇතැයි දෙවිවරුන් සේ විශ්වාස කරන වෛද්‍යවරුන් අතින්ම පෞද්ගලික ලාභය වෙනුවෙන් මෙලෙස අසරණ ජීවිත බිලිගනු ලබන්නේ නම්, ජීවිතයත් මරණයත් අතර සටන් වදින දුප්පත් රෝගීන්ට අන් කවර සරණක් ද?