
ප්‍රසිද්ධ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන 'ඩුබායි සුද්දා' නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට අයත් බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධානතම බෙදාහරින්නා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලිසිය සමත් වී ඇත.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම දියත් කර තිබේ. ඒ අනුව බණ්ඩාරගම, වැල්මිල්ලේ අලෝතියාව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී, මත්ද්‍රව්‍ය කුඩා පැකට් බවට පත් කරන මධ්‍යස්ථානයක් ලෙස එය පවත්වාගෙන යන බව අනාවරණය වී ඇති අතර, අදාළ ජාවාරම සිදුකරමින් එහි රැඳී සිටි මෙම පිරිස නීතියේ රැහැනට කොටු කරගැනීමට පොලිසියට හැකි විය.
මෙම මෙහෙයුමේදී රුපියල් ලක්ෂ පහළොවක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඇසුරුම් කිරීමට භාවිත කරන විශේෂ කඩදාසි, ඉටි කවර මෙන්ම ඒ සඳහා යොදාගන්නා තවත් උපකරණ කිහිපයක්ද සොයාගැනීමට නිලධාරීහු සමත් වූහ. තවද, ජංගම දුරකථන හතරක් සහ මෝටර් රථයක්ද වැටලීම සිදු කළ ස්ථානයේ තිබී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හත් දෙනා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාලය සහ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි.
