චීනයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජීලි (Geely) සමූහය, ගෝලීය වෙළෙඳපොළේ ඉල්ලුම සහ බලශක්ති මිල ගණන්වල සිදුවන වෙනස්වීම්වලට සාර්ථකව අනුගත වෙමින් මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය තහවුරු කරමින් සිටියි. පසුගිය වසරේ ලොව වැඩිම විද්‍යුත් මෝටර් රථ අලෙවියක් වාර්තා කළ බී.වයි.ඩී (BYD) සමාගම පවා අභිබවා යමින්, මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනයේ වැඩිම අලෙවියක් සහිත මෝටර් රථ සන්නාමය බවට පත්වීමට ජීලි සමූහයට හැකි වී තිබේ.
යුරෝපය, මැදපෙරදිග සහ ආසියාවේ අනෙකුත් රටවල් වෙත සිය අපනයන දෙගුණයකට වඩා වැඩි කර ඇති එම සමාගම, වර්තමානයේදී ලොව ප්‍රබලතම මෝටර් රථ නිෂ්පාදකයන්ට සිය මව්බිමේදීම දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටීම විශේෂත්වයකි.පාරිභෝගික රුචිකත්වයන් වේගයෙන් වෙනස් වන වටපිටාවක වුවද, පෙට්‍රල්, ගෑස්-විද්‍යුත් දෙමුහුන් (Hybrids), ප්ලග්-ඉන් දෙමුහුන් සහ පූර්ණ විද්‍යුත් යන මෝටර් රථ කාණ්ඩ හතරෙහිම නිෂ්පාදන පවත්වාගෙන යාම ජීලි සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී ඇත. චීන රජය මගින් විද්‍යුත් රථ සඳහා ලබාදුන් සහනාධිකාරී කාලය අවසන් වීමත් සමග විද්‍යුත් රථ අලෙවිය මන්දගාමී වූ අතර, ඒ වෙනුවට දෙමුහුන් රථ සඳහා ඇති ඉල්ලුම ඉහළ ගියේය. මෙම වෙළෙඳපොළ විචලනය හඳුනාගත් ජීලි සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලිය වහාම ඒ දෙසට හැරවීමට සමත් වූ අතර, එම නම්‍යශීලීභාවය ඔවුන්ට තරඟකාරී වාසියක් අත්කර දී තිබේ.
ලී ෂුෆු (Li Shufu) නම් ව්‍යවසායකයා විසින් 1998 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම, වසර තිහකටත් අඩු කාලයකදී ගෝලීය මෝටර් රථ දැවැන්තයෙකු බවට පත්ව ඇත්තේ වොල්වෝ (Volvo) සහ ලෝටස් (Lotus) වැනි ජාත්‍යන්තර සන්නාමයන් ද තමන් යටතට පත් කරගනිමිනි. 2010 වසරේදී ලී මහතා ෆෝඩ් සමාගමෙන් වොල්වෝ සන්නාමය මිලදී ගන්නා විට බොහෝ දෙනෙකු එය ප්‍රායෝගික නොවන උත්සාහයක් ලෙස හැඳින්වූවද, අද වන විට ඔහු එම සන්නාමයන් නවීකරණය කරමින් ලෝකය පුරා ව්‍යාප්ත කර තිබේ. චීනයේ හැංෂෝ (Hangzhou) නගරයේ පිහිටි ජීලි කර්මාන්තශාලාවල රොබෝ තාක්ෂණය සහ නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිදුකරන මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් පසුගිය වසරේදී පමණක් ඔවුන් මෝටර් රථ මිලියන තුනක් අලෙවි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 39ක වර්ධනයකි.
එක්සත් ජනපදය විසින් පනවා ඇති බදු බාධක හේතුවෙන් චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට එරට වෙළෙඳපොළට පිවිසීම අසීරු වී ඇති නමුත් ජීලි සමූහය සිය අවධානය අග්නිදිග ආසියාව, ඕස්ට්‍රේලියාව, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව වෙත යොමු කර ඇත. ඔවුන්ගේ නවතම සන්නාමයක් වන සීකර් (Zeekr) හරහා අධි-තාක්ෂණික පහසුකම් සහිත සුඛෝපභෝගී විද්‍යුත් රථ වෙළෙඳපොළට හඳුන්වා දීමටද ඔවුන් කටයුතු කරමින් සිටියි. ගෝලීය දේශපාලන තත්වයන් සහ බදු ප්‍රතිපත්ති වෙනස් වුවද, විවිධ රටවල පිහිටි සිය කර්මාන්තශාලා ජාලය භාවිත කරමින් වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමේ සැලසුම් සහගත ගමනක ජීලි සමූහය වර්තමානයේ නිරතව සිටියි.
