two-of-the-three-who-molested-the-anuradhapura-girl-have-been-caught

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමිනම ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි ව්‍යාපාරිකයෙකු පසුගිය හය වැනිදා ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. තමන්ව දෙවැනි වරට ලිංගික අතවරයට ලක් කළේ මෙම ව්‍යාපාරිකයා බවට වින්දිත දැරිය විසින් විමර්ශන කණ්ඩායම් වෙත ලබා දුන් තීරණාත්මක ප්‍රකාශයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.




ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරුණු මෙම දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පවසා ඇත්තේ තමන් මුලින්ම ලිංගික අතවරයට ලක් කළේ අනුරාධපුර පූජා භූමියේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවයි. ඉන් අනතුරුව දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අතින් සහ තෙවැනිව තම පෙම්වතා ලෙස හඳුනාගත් බස් කොන්දොස්තරවරයෙකු අතින් තමන් අතවරයට පත් වූ බව ඇය සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් අනාවරණය කර තිබේ. දැනට ක්‍රියාත්මක විමර්ශනවලට අනුව මෙම සිද්ධියේ පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් ලෙස සැලකෙන ව්‍යාපාරිකයා සහ පෙම්වතා කියන කොන්දොස්තරවරයා මේ වන විටත් පොලිස් භාරයට ගෙන අවසන්ය. නමුත් හිමිනම තවම නිදැල්ලේය.

මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කඩිනමින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරමින් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා මීට පෙර ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග නිකුත් කර තිබුණි. භික්ෂුවක, ව්‍යාපාරිකයෙකු සහ කොන්දොස්තරවරයෙකු සම්බන්ධ වූ මෙම බරපතළ අපරාධයට අදාළ විද්‍යාත්මක සාක්ෂි රැස් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත්තේ අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් දැරිය කළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි.




නිට්ටඹුව පොලිස් වසමේ පිහිටි ලැගුම්හලක සිය පෙම්වතා යැයි කියන පුද්ගලයා සමඟ රැඳී සිටියදී පොලිසිය විසින් මෙම දැරිය මුලින්ම සොයාගෙන ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය. එම අවස්ථාවේදී පොලිස් භාරයට ගනු ලැබූ බාලවයස්කාර දැරිය පසුව ගම්පහ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසුව මෙම බරපතළ ලිංගික අපයෝජනය සහ ඊට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකරුවන් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය වී තිබේ.