the-magic-of-depreciating-the-rupee-in-the-dollar---dhananath-fernandos-analysis

ප්‍රකට ආර්ථික විශ්ලේෂක හා Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පසුගිය දිනවල ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අධිප්‍රමාණවීම ගැන පැහැදිලි කිරීමක් කර තිබේ. 

ඩොලරයේ අගය ඉහළ යනවා අපි දැක්කා.

ඒ වගේම, රුපියල අවප්‍රමාණය (Depreciate) වෙනවා අපි දැක්කා. හැබැයි පසුගිය බ්‍රහස්පතින්දා ඉඳන් කාලසීමාව ගත්තම, ඒ දිශානතිය ආපස්සට හැරිලා (Reverse වෙලා) තියෙනවා කියලා අපි කියනවා. දැන් ක්‍රම ක්‍රමයෙන් නැවතත් රුපියල අධිප්‍රමාණය (Appreciate) වෙමින් තියෙනවා; ඒ කියන්නේ ඩොලරයේ අගය අඩු වෙමින් තියෙනවා. බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගිය එක. සමහරු පුරෝකථනය කළා මේක 380, 400 කිට්ටුවටත් යයි කියලා. ඒක තමයි අපිටත් තිබුණු විශ්වාසය. හැබැයි මේක නැවත හැරිලා තියෙනවා. ඒ හැරෙන්න හේතුව මොකක්ද?




මේක විශේෂයෙන්ම සිද්ධ වුණේ බ්‍රහස්පතින්දා රෑ. මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ ඇයි මේක මුලින්ම අවප්‍රමාණය වුණේ, සහ බ්‍රහස්පතින්දා රාත්‍රියේදී නැත්නම් බ්‍රහස්පතින්දා දවස අවසානයේදී විශාල අවප්‍රමාණයක් සිදුවුණේ ඇයි කියලා. මේකට ප්‍රධාන හේතු කිහිපයක් තිබුණා.

එකක් තමයි, අපි හැමෝම දන්නවා වගේ මැයි මාසේ මුල ඉඳලම සහ කාලෙක ඉඳලම රුපියල යම්කිසි ප්‍රමාණයකට අවප්‍රමාණය වෙමින් පැවතුණා. මැයි මාසේ මුල ඉඳලාම මේ අවප්‍රමාණය වෙන වේගය ටිකක් වැඩි වෙන්න ගත්තා, රුපියල රුපියල් දෙක තුන ගාණෙන් වෙනස් වෙන්න ගත්තට පස්සේ.




එතකොට සිදුවන දේ තමයි, වෙළඳපොළට ඩොලර් අරන් එන අපනයනකරුවන් සහ ඩොලර් අරන් එන වෙනත් ඕනෑම කෙනෙක්, ඩොලර් අරන් එන එක ගැන පොඩ්ඩක් හිතන්න පටන් ගන්නවා. "මේක එක දිගටම අවප්‍රමාණය වෙන නිසා මම අද මේ ඩොලර් ටික රුපියල් බවට පරිවර්තනය කරගත්තොත් මට පාඩුයි" කියලා ඔවුන් හිතනවා.

ඉතින් බ්‍රහස්පතින්දා රෑ වෙද්දී මේ තත්ත්වය ටිකක් තීව්‍ර වුණා. මොකද ක්‍රම ක්‍රමයෙන් ඊට කලින් දවස් දෙකේදීත් රුපියල් දෙක තුන වගේ මට්ටමකින් රුපියල අවප්‍රමාණය වුණා. එතකොට බ්‍රහස්පතින්දා වෙද්දී අපනයනකරුවෝ කවුරුවත් වෙළඳපොළට ඩොලර් අරගෙන ආවේ නැති තරම්. ඒ වගේම, මේ අවප්‍රමාණය වෙන වේගය දැක්කට පස්සේ අනික් පැත්තෙන් වෙන දේ තමයි ආනයනකරුවන් මේකට ටිකක් බය වෙන එක. ඒ නිසා ඔවුන් පුළුවන් තරම් වැඩි වැඩියෙන් වෙළඳපොළෙන් ඩොලර් ඉල්ලන්න ගත්තා.



ඒ අතරේදී මගේ අදහස තමයි, රජය ඊට දවස් කිහිපයකට කලින් වාහන ආනයනය සම්බන්ධයෙන් ගහන තීරු බද්දට 50%ක අධිභාරයකුත් පැනෙව්වා. එතකොටත් වෙළඳපොළට පොඩි සංඥාවක් ගියා. ඒ කියන්නේ ආණ්ඩුව දැන් යම්කිසි පීඩනයක ඉන්නේ කියලා වෙළඳපොළ හිතනවා. දැන් ඩොලර් නැති නිසයි මේක නවත්තන්න හදන්නේ කියන එක තමයි ඒ සංඥාව.

එතකොට වාහන විතරක් නෙවෙයි, අපි දන්නවා ආනයනය කරන බොහෝ දෙනෙක් නරක් නොවන භාණ්ඩ (Non-perishable goods) පුළුවන් තරම් තොග රැස්කරගන්න (Stock කරගන්න) පෙළඹෙනවා. ඒකට හේතුව, අද තියෙන මිලට වඩා හෙට තව වැඩි වෙයි කියන උපකල්පනය මතයි.

අනික් පැත්තෙන්, දැන් ඔය ආනයනය කරන ගොඩක් අය ණයවර ලිපියක් (LC එකක්) විවෘත කරද්දී යම්කිසි මුදලක් තැන්පත් කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලොත් කරන්නේ ණයක් අරගෙන තමයි LC එක ඕපන් කරන්නේ. එක එක බැංකුවේ තියෙන මාර්ගෝපදේශ (Guidelines) අනුව 10%ක් හරි තැන්පත් කරන්න ඕනේ. අපි හිතමුකෝ මම ඩොලර් 100ක LC එකක් ඕපන් කරනවා කියලා. එතකොට ඩොලර් 100ට මම රුපියල් 30,000ක් තැන්පත් කරන්න ඕනේ නම්, ඒ මුළු 30,000ම තැන්පත් කරන්න ඕනේ. සමහරු රුපියල් 3000ක් හරි 6000ක් හරි තැන්පත් කරලා, ඉතුරු 24,000 බැංකුවෙන් ණයක් විදිහට ගන්නවා. බැංකුවටත් මේ වෙලාවේ ණය දෙන්න හැකියාව තිබුණා, මොකද වෙළඳපොළේ රුපියල් ටිකක් වැඩිපුර තිබුණු නිසා.

ඉතින් ඒක නිසා බ්‍රහස්පතින්දා වෙද්දී විශාල වශයෙන් කට්ටිය ඇවිල්ලා LC ඕපන් කරන්න ගත්තා. එතකොට සිදුවෙච්ච දේ තමයි ඩොලරය විශාල වශයෙන් අවප්‍රමාණය වෙලා ඔය 353, 354 මට්ටමට ගිය එක.

හැබැයි බ්‍රහස්පතින්දා හවස හෝ රාත්‍රිය වෙද්දී, ප්‍රධාන වෙළෙන්දන් (Dealers) සහ බැංකු අතර මහ බැංකුවත් එක්ක සාකච්ඡාවක් පැවතුණා. අපේ දැනුමේ හැටියට මහ බැංකු අධිපතිවරයත් මීට සහභාගී වෙලා හිටියා. "ඇයි මේක වෙන්නේ? මොකක්ද මේකට කරන්නේ?" කියලා එතනදී සාකච්ඡා වුණා වගේම පොඩි ඉඟියක් (Indication එකක්) ආවා.

අපි දන්නවා දැනට නීතියක් තිබෙනවා අපනයනකරුවෙක් ඩොලර් අරගෙන ආවොත්, උදාහරණයක් විදිහට තේ අපනයනය කරලා ඩොලර් 100ක් බැංකු ගිණුමේ තිබුණොත්, අපනයනය කරලා දින 90ක් ඇතුළතදී ඒ ඩොලර් 100 රුපියල් බවට පරිවර්තනය කරන්න ඕනේ කියලා. මේක නීතියක්. එතනදී ඉඟියක් ආවා මේ පරිවර්තන කාලසීමාව (Conversion period එක) අඩු කරයි කියලා.

එතකොට අපනයනකරුවන් යම් අභියෝගයකට ලක් වෙන නිසා, ඔවුන් දන්නවා අනිවාර්යයෙන්ම වෙළඳපොළට ඩොලර් එනවා කියලා. ඒක නිසා ඔවුන් ගොඩක් දුරට පෙළඹුණා සිකුරාදා දවසේදී වෙළඳපොළේ ඩොලර් මාරු කරගන්න. මොකද සෙනසුරාදා සහ ඉරිදා සති අන්තය නිසාත්, මේ වෙද්දී හොඳ විනිමය අනුපාතයක් ඇවිල්ලා තියෙන නිසාත් ඔවුන් ඒ තීරණය ගත්තා. එතනදී කවුරු වුණත් බොහොම උපක්‍රමශීලීව කටයුතු කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔව්, ඔවුන් උපක්‍රමශීලීව කටයුතු කරලා තියෙනවා. මොකද අපනයනකරුවෝ කොහොමත් බලන්නේ ඒ විදිහටයි.

ඒ වගේම, මේ පරිවර්තන කාලය දින 30ට අඩු කරනවා කියන එක, මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකුව පැත්තෙන් කරපු උපක්‍රමශීලී පියවරක් වෙන්නටත් පුළුවන්. මොකද මහ බැංකුවට මේ අවස්ථාවේදී තමන්ගේ සංචිත (Reserves) දිය කරලා මේ විනිමය අනුපාතය පල්ලෙහාට ගේන්න ටිකක් අමාරුයි. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සමාලෝචනයක් (Review එකක්) මේ සතිය අන්තිමට තියෙනවා. ඒක නිසා එහෙම කරන්නත් අමාරුයි. ඔවුන්ට යම්කිසි සංචිත ඉලක්ක (Reserve targets) පවත්වාගෙන යන්න තියෙනවා. අනිත් පැත්තෙන් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු.

එතකොට සිකුරාදා දවසේ තියෙන අනිත් විශේෂත්වය තමයි, සාමාන්‍යයෙන් විදේශ ප්‍රේෂණ (Foreign Remittances) ටිකක් වැඩිපුර වෙළඳපොළට පැමිණෙන දවසක් වීම. ඒ වගේම LC එහෙමත් නැත්නම් ණයවර ලිපි එච්චර විවෘත නොවන දවසක්.

ඉතින් ඒක නිසා සිකුරාදා වෙද්දී වෙළඳපොළට විශාල ඩොලර් ප්‍රමාණයක් ආවා. ඒ කියන්නේ සැපයුම වැඩි වෙලා ඉල්ලුම අඩු වුණා. ඒක නිසා සීඝ්‍ර ලෙස රුපියලේ අධිප්‍රමාණය වීමක් සිකුරාදා දිනයේදී සිදුවුණා. ඒකම යම්කිසි ප්‍රමාණයකට එතරම්ම නැති වුණත්, අද දිනයේදීත් ඉතා සුළු වශයෙන් රුපියල අධිප්‍රමාණය වුණා. මොකද වෙළඳපොළට දැන් ඩොලර් පැමිණෙනවා. ඩොලර් තවදුරටත් තියාගෙන හිටියොත් රුපියල තවත් අධිප්‍රමාණය වෙලා පාඩු වෙයි කියන සැක සංකාව තියෙන නිසා කට්ටිය ඩොලර් මාරු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදලුත් ලැබෙනවා කියන විශ්වාසය තියෙනවා.

ඒ නිසා, වෙළඳපොළේ දැන් "ආ... ඩොලර් වල ප්‍රශ්නයක් නැහැ, දැන් ටිකක් එනවනේ" කියන වාතාවරණයත් එක්ක තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා මම හිතන්නේ. පසුගිය බ්‍රහස්පතින්දා ඉඳන් ගත්තම, දැන් වෙළඳපොළට යම්තාක් දුරකට ධනාත්මක සංඥාවක් ලැබිලා තියෙනවා. ඒක ඉතාමත් ධනාත්මක තත්ත්වයක්.