බ්‍රිතාන්‍යයේ ජල සංරක්ෂණ ඉලක්ක සපුරා ගැනීම සඳහා, දිනකට ජලය විශාල ප්‍රමාණයක් අපතේ යන යුරෝපීය මාදිලියේ ද්විත්ව ෆ්ලෂ් (dual-flush) වැසිකිළි පද්ධති තහනම් කිරීම සම්බන්ධයෙන් එරට අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වී තිබේ. පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (Defra) විසින් මේ වන විටත් මෙලෙස දෝෂ සහිත වැසිකිළි මගින් සිදුවන ජල හානිය අවම කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ද පිහිටුවා ඇත.
පරිසර හිතකාමී සහ ජලය ඉතිරි කරන ක්‍රමවේදයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දුන්නද, ප්‍රායෝගිකව මෙම යුරෝපීය වැසිකිළි පද්ධති හේතුවෙන් අතිවිශාල ජල නාස්තියක් සිදුවන බව විශේෂඥයෝ පෙන්වා දෙති.මෙම යුරෝපීය ජල ටැංකි පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ටැංකියේ පතුලේ ඇති රබර් මුද්‍රාවක් (rubber seal) සහිත කපාටයක් මගිනි. කාලයත් සමඟ මෙම රබර් මුද්‍රාව දිරාපත් වීමෙන් ජලය කාන්දු වීම ආරම්භ වේ. මීට ප්‍රතිවිරුද්ධව, වික්ටෝරියානු යුගයේ ඉංජිනේරුවන් විසින් හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායික සයිෆන් (syphon) පද්ධතිය මගින් U-හැඩැති බටයක් හරහා ජලය ඉහළට ඇදීමක් සිදු කරයි. එහිදී ජල මට්ටම කිසිවිටෙකත් U-බටයේ උසට වඩා ඉහළ නොයන බැවින්, ඉන් ජලය කාන්දු වීමේ සම්භාවිතාවක් නොමැත. කෙසේ වෙතත්, 2001 වසරේ සිට බ්‍රිතාන්‍යයේ නිවාස ඉදිකරන්නන්ගේ පිරිවැය අවම කර ගැනීමේ අරමුණින් මෙම ලාභදායී යුරෝපීය කපාට පද්ධති භාවිතයට අවසර ලබා දී තිබුණි.
2013 වසරේදී යුරෝපීය කොමිසම විසින් එක් වරක් සඳහා ලීටර් 3.5කට වඩා ජලය භාවිතා නොකරන ලෙස නියෝග කිරීමත් සමඟ මෙම ද්විත්ව ෆ්ලෂ් පද්ධති භාවිතය තවදුරටත් ජනප්‍රිය විය. නමුත් පාරිභෝගික ජල කවුන්සිලයට අනුව, මේ වන විට බ්‍රිතාන්‍යය පුරා කාන්දු වන වැසිකිළි මිලියන 3.6ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් එක් වැසිකිළියකින් දිනකට ජලය ලීටර් 400ක් පමණ අපතේ යයි. Waterwise නැමැති පාරිසරික සංවිධානය පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියේ වැසිකිළිවලින් සියයට අටක් පමණ මෙලෙස ජලය කාන්දු වන තත්ත්වයේ පවතින බවයි.
2050 වසර වන විට ජල කාන්දුවීම් අඩකින් අඩු කිරීමේ නීතිමය බැඳීමක් බ්‍රිතාන්‍ය රජයට ඇති අතර, 2038 වන විට ඒක පුද්ගල ජල පරිභෝජනය සියයට 20කින් අඩු කිරීමට ද සැලසුම් කර ඇත. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා, බ්‍රෙක්සිට් (Brexit) හරහා ලැබුණු ව්‍යවස්ථාදායක නිදහස භාවිතා කරමින් 2001ට පෙර පැවති කාන්දු නොවන සයිෆන් වැසිකිළි පද්ධතිය වෙත නැවත යොමු විය යුතු බවට බ්‍රිතාන්‍ය නිෂ්පාදකයෝ රජයට බල කරමින් සිටිති. කෙසේ වෙතත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අදියරේදී අදාළ යුරෝපීය වැසිකිළි පද්ධති තහනම් කිරීමේ ස්ථිර සැලසුමක් රජය සතුව තවමත් නොමැති බවයි.
