the-lecturer-has-come-to-the-court-alleging-that-dr-peradeni-datta-sexually-assaulted-her

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුවන ලිංගික හිංසන වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස එම විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි නියෝගයක් නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට අදාළව චෝදනාවට ලක්වූ මහාචාර්යවරයාට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කිසිදු තනතුරක් දැරීම ද අධිකරණය විසින් තහනම් කර ඇත.




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකඟත්වය සහිතව විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන ශ්‍රේණියේ කථිකාචාර්යවරියක මෙන්ම දර්ශනපති උපාධිය හදාරමින් සිටි දන්ත වෛද්‍ය උදාරි අබේසිංහ මහත්මිය විසිනි. ඇය විසින් වගඋත්තරකරුවන් ලෙස සිය උපාධි සමීක්ෂකයා වූ පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. තිලකරත්න, විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පළමු වගඋත්තරකාර මහාචාර්යවරයා විසින් පෙත්සම්කාරියට අවස්ථා කිහිපයකදීම සිදුකරන ලදැයි කියන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් ඇයගේ මව විසින් විශ්වවිද්‍යාල බලධාරීන්ට මූලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබී ඇත. එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මහාචාර්යවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර, ඉන් සමහර චෝදනා සඳහා ඔහු වරදකරු කර තිබුණද, විශ්වවිද්‍යාල සනාතන සභාව විසින් ඔහුට එරෙහිව කිසිදු විනය පියවරක් ගෙන නොතිබූ බව අධිකරණයේදී අනාවරණය විය.




මෙම තත්ත්වය හමුවේ පෙත්සම්කාරිය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර, අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ. පෙත්සම විභාගයට ගැනීමේදී වගඋත්තරකාර සනාතන සභාව විසින් මෙය කාලාවරෝධී වී ඇති බවට මූලික විරෝධතාවක් මතු කර ඇති අතර, ‘කණ්ඩම්බි එදිරිව රාජ්‍ය දැව සංස්ථාව' නමැති නීතිමය පූර්වාදර්ශය අනුව එම විරෝධතාව පිළිගත හැකි බවට අධිකරණය තීරණය කළේය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති වෘත්තියක නියැලීමේ නිදහස, සාධාරණත්වය සහ සමානාත්මතාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති පුළුල් බලතල ප්‍රකාරව පෙත්සම්කාරියට සහනයක් ලබාදීමට විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

ඒ අනුව, පළමු වගඋත්තරකාර මහාචාර්ය ඩබ්ලිව්.ඒ. තිලකරත්න මහතාට මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක කිසිදු ආකාරයක නිල තනතුරක් හෝ ගෞරව තනතුරක් දැරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබේ. මීට අමතරව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට සිදුවන ලිංගික හිංසන වැළැක්වීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ මාලාවක් සකස් කර වහාම බලාත්මක කරන ලෙසද සනාතන සභාවට නියෝග කර ඇත. මෙම නඩු විභාගයේදී පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ අමීෂා ටීකල් මහත්මිය පෙනී සිටි අතර, පළමු වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියහ.