ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේදී පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අවධාරණය කළේ පුද්ගලයන්ගේ තරාතිරම, අතීතයේ ඔවුන් දැරූ බලය හෝ කිසිදු අදිසි හස්තයක් නොසලකා සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බවයි. පළිගැනීමේ, වෛරයේ හෝ ක්‍රෝධයේ චේතනාවකින් තොරව සාධාරණත්වය මත පදනම්ව නීතිය ක්‍රියාත්මක වන බවත්, යම් පරීක්ෂණයකදී අයෙකුගේ නමක් සඳහන් වුවහොත් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් මිස එය මහා සමාජ ව්‍යසනයක් ලෙස හුවා දැක්වීම නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 80කට ආසන්න මුදලක් ද, මේ වසරේ රුපියල් බිලියන 500ක මුදලක් ද වෙන් කර ඇති අතර එය මෙරට ස්වභාවික ව්‍යසනයක් වෙනුවෙන් වෙන්කළ ඉහළම ප්‍රතිපාදනය ලෙස සැලකේ. ආපදාවලට ලක්වන්නේ බොහෝ විට ආර්ථික මට්ටමින් පහළ, අනාරක්ෂිත පරිසරයන්හි ජීවත් වන ජනතාව බැවින් ඔවුන්ට සුරක්ෂිත නිවාස ලබාදීමටත්, අර්ධ හානි වූ නිවාස ඉදිකර දීමටත්, විනාශ වූ පාලම් සහ මාර්ග ඇතුළු යටිතල පහසුකම් නිසි ප්‍රමිතියකට අනුව යළි ගොඩනැගීමටත් අදාළ ප්‍රතිපාදන වෙන් කර ඇත. එමෙන්ම පෙර පැවති ක්‍රමවේදයට වඩා වැඩි වන්දියක් ආපදාවට ලක්වූවන්ට ලබාදීමට රජය තීරණය කර ඇති අතර, මෙවර පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ මෙම බිලියන 500ක මුදල මෙම වසර ඇතුළත වියදම් කිරීම බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ රජයේ වාර්ෂික වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට දහතුනකට පමණ සීමා වුවද, මූල්‍ය කළමනාකරණ පනතට අනුව මෙවැනි හදිසි ආපදා තත්ත්වයකදී එම සීමාව ඉක්මවා කටයුතු කිරීමට නෛතික ප්‍රතිපාදන පවතින බවද ඔහු පැහැදිලි කළේය.
අතීතයේදී කිසිදු ඉලක්කයක් නොමැතිව රජයේ මුදල් වියදම් කිරීම සහ අතරමග වැඩ නතර කළ ගොඩනැගිලි වැනි ව්‍යාපෘති රටේ ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වූ බැවින් මින් ඉදිරියට සෑම ව්‍යාපෘතියක්ම විධිමත් සක්‍යතා අධ්‍යයනයකින් පසුව පමණක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වෙන්කර ඇති මුදල් ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඉලක්කගත ප්‍රජාවගේ සංවර්ධනය වෙනුවෙන් ඵලදායී ලෙස යෙදවිය යුතු බව ඔහු පැවසීය. එසේම, නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වීම රාජ්‍ය නිලධාරීන් බියගැන්වීමක් ලෙස අර්ථකථනය කරමින් සමාජ මතයක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළද, රාජ්‍ය සේවකයන් බිය විය යුත්තේ අක්‍රමිකතාවල නිරත වීමට මිස නිදහස්ව සහ කාර්යක්ෂමව රාජකාරිය කිරීමට නොවන බව ඔහු අවධාරණය කළේය. දේශපාලන බලය, ධනය හෝ දේශපාලන හිතවත්කම් මත නීතියෙන් රිංගා යාමට කිසිවෙකුටත් ඉඩ නොලැබෙන අතර, ජනාධිපතිවරයාගේ සිට ග්‍රාම නිලධාරීවරයා දක්වා සියලුදෙනා නීතියට යටත් වන හා නීතියට බිය වන නව සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. යම් හෙයකින් නීතිය අසාධාරණ ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට නීතියේම ප්‍රතිපාදන පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
තමන් නීතියට ඉහළින් සිටින බව සිතා කටයුතු කළ ඇතැම් කණ්ඩායම්වලට මේ වන විට නීතිය ක්‍රියාත්මක වීම දරාගත නොහැකි වී ඇති බවත්, අතීතයේදී මෙරට ජනාධිපතිවරුන් පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නීතිය කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. එබැවින් පවතින නීති රීති සහ අණපනත් නමැති රාමුව තුළ සිට උපරිමයෙන් ජනතාවට සේවය කරන ලෙසත්, යම් හෙයකින් එම නීතිමය රාමුව සංවර්ධන වැඩකටයුතුවලට බාධාවක් වන්නේ නම් එම නීති රාමු වෙනස් කිරීමට රජය සූදානම් බවත් ඔහු පැවසීය. දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ ද වගකීම වන්නේ බියකින් තොරව මෙම රට වඩාත් යහපත් රටක් බවට පරිවර්තනය කිරීම බව හෙතෙම කියා සිටියේය.
මෙම විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහ කමිටු සම සභාපති මහාචාර්ය සරත් අභයකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්විල සහ දිනේෂ් හේමන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. ඊට අමතරව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් එල්. පී. මදනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
