
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද (13) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් සිදුවිය හැකි බවයි.
එළඹෙන මැයි මස 24, 25 සහ 26 යන දිනයන් වන විට දිවයිනට බලපාන නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය ආරම්භ වීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇති අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකිය. මීට අමතරව ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වනු ඇතැයි දේශගුණික අනාවැකි පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කඩිනම් පියවර ගත යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
අඛණ්ඩව ඇද හැලෙන වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ද මේ වන විට අලුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවලට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය සඳහා මට්ටම 2 යටතේ ඇම්බර් වර්ණ පූර්ව නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
තවද කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා මට්ටම 1 යටතේ කහ වර්ණ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර ඇත. මෙලෙස අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙස බණ්ඩාරවෙල, වලල්ලාවිට, පාතහේවාහැට, පස්බාගේකෝරලේ, අකුරණ, ගඟවටකෝරලේ, පන්විල, යටිනුවර, ගඟඉහළකෝරලේ, දොලුව, උඩපළාත, මාවනැල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල, රඹුක්කන, රිදීගම, නාවුල, අඹන්ගඟකෝරලේ, රත්තොට, බඩල්කුඹුර, වැල්ලවාය, ගොඩකවෙල, රත්නපුර සහ කලවාන යන ප්‍රදේශ හඳුනාගෙන තිබේ. පවතින වර්ෂාපතනයත් සමඟ නායයාම් හෝ පස් කඳු කඩා වැටීමේ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙස අදාළ ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
