
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඇප ලබාගැනීම සඳහා ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට ආධාර අනුබල දුන් බව කියන නීතිඥවරයෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුට ඇප නියම වූ අවස්ථාවේදී, එම ඇප කොන්දේසි සපුරාලීම සඳහා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට මෙම දෙදෙනා සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව, අදාළ නීතිඥවරයාගෙන් සහ ජේලර්වරයාගෙන් පොලිස් කණ්ඩායම් දැනටමත් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, කපිල චන්ද්‍රසේන මහතා බන්ධනාගාරගතව සිටි කාලය තුළ මෙම ජේලර්වරයා සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී තිබේ. තමන්ට ඇප ලබාගැනීම සඳහා සුදුසු ඇපකරුවන් දෙදෙනෙකු සොයා දෙන ලෙස චන්ද්‍රසේන මහතා කළ ඉල්ලීමකට අනුව, අදාළ ජේලර්වරයා සහ නීතිඥවරයා එක්ව කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මුදලට සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ඇපකරුවන් සොයාදීමේ සේවය වෙනුවෙන් රුපියල් 75,000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, එම මුදල් ගෙවීමට සූදානම්ව සිට ඇත්තේ චන්ද්‍රසේන මහතාගේ කළමනාකාරවරයෙකු ලෙස කලක් සේවය කළ අයෙකු බව පැවසේ. අදාළ කළමනාකරු දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සහ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
අධිකරණය නොමඟ යවමින් නාඳුනන පුද්ගලයන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කර විශ්වාසය කඩ කිරීම හේතුවෙන් කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉකුත් 7 වැනිදා නියෝග කර තිබිණි. අදාළ කොමිසම මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙමින් සිටියදී, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබීය.
