the-galle-tycoon-who-got-kush-from-the-theras-fled-to-delhi

තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනකුගේ ගමන් මලු තුළ රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 111ක් මෙරටට ගෙන්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ගාල්ලේ කෝටිපති ව්‍යාපාරිකයා මේ වන විට ඉන්දියාවේ දිල්ලි නුවර සැඟව සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.




අදාළ හිමිවරුන් කණ්ඩායම තායිලන්තයේ සංචාරය කරමින් සිටි කාලය තුළ මෙම ව්‍යාපාරිකයා බැංකොක් නුවර රැඳී සිට ඇති අතර, ගුවන් තොටුපොළේදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට පත්වීමත් සමඟ ඔහු එරටින් දිල්ලි නුවරට පලා ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව රතු නිවේදනයක් ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ව්‍යාපාරිකයා හිමිවරුන් තායිලන්තය බලා පිටත්ව යාමට දින කිහිපයකට පෙර එම රට බලා ගොස් ඇති බවත්, මෙම සම්පූර්ණ සංචාරය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ඔහු විසින් වැය කර ඇති බවත් පොලිසිය පවසයි. මීට පෙර අවස්ථාවකදී ද හිමිවරුන් පිරිසක් සඳහා නොමිලේ තායිලන්ත සංචාරයක් ලබා දීමට මොහු කටයුතු කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවීම සඳහා ඔහු මෙම ක්‍රමය උපයෝගී කරගෙන ඇති බවට සැක කෙරේ. සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින තවත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි විමර්ශන නිලධාරීහු විශ්වාසය පළ කරති.




පසුගිය අප්‍රේල් මස 25 වැනිදා රාත්‍රී කාලයේදී තායිලන්තයේ දින හතරක සංචාරයක් නිමවා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙම හිමිවරුන් විසි දෙදෙනා සහ ඔවුන්ගේ ගමන් මලුවල සූක්ෂම ලෙස අසුරා තිබූ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය මගිනි. මෙම සංචාරය සංවිධානය කළ බව කියන කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කළ හිමිනම සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් හිමිවරුන් විසි දෙදෙනා සමඟ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිති. ගමන් මලු විසි දෙකක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට ඉතිහාසයේ ගුවන් මගියකුගේ ගමන් මලු හරහා ගෙන්වීමට උත්සාහ කළ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස ද සැලකේ.