මාසිකව රුපියල් ලක්ෂ 66ක අතිවිශාල මුදලකට වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් කුලියට ගෙන දැවැන්ත සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට සැලසුම් කළ විදේශිකයින් 14 දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෞද්ගලික ව්‍යාපාරයක් ලියාපදිංචි කරන මුවාවෙන් මෙම අපරාධ ජාලය මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වී ඇති අතර, ඒ සඳහා පරිගණක 300ත් 400ත් අතර ප්‍රමාණයක් යොදාගනිමින් මහා පරිමාණ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අතරට චීන ජාතිකයින් 12 දෙනෙකු සහ මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු අයත් වේ. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතර කාන්තාවන් දෙදෙනෙකු සිටින බවත්, මැලේසියානු ජාතිකයින් අතරද එක් කාන්තාවක් සිටින බවත් පොලිසිය තහවුරු කර ඇත. තවද, සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම කිසිදු විදේශීය සැකකරුවෙකු සතුව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍රයක් නොමැති බවයි.
කළුතර උතුර පොලිස් වසමට අයත් වස්කඩුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් තුළ විදේශිකයින් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවට වලාන දූෂණ මර්දන බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට රහසිගත තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ එම බලකායේ බුද්ධි නිලධාරීන් වන පොලිස් සැරයන් (409) විජේරත්න සහ පොලිස් කොස්තාපල් (39850) අෂාන් යන නිලධාරීන් විසින් සිදු කරන ලද ආවේක්ෂණ රාජකාරිවලින් පසු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඇත. ඉන් අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සාර්ථක වැටලීම සිදු කර තිබේ.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෙම හෝටලය අධික මාසික කුලියකට ලබාගෙන මෙම ජාත්‍යන්තර අපරාධකරුවන් මෙරට තුළ සිදු කිරීමට ගිය දැවැන්ත අන්තර්ජාල අපරාධ රැසක් මෙම ක්ෂණික ක්‍රියාත්මක වීම හරහා වළක්වා ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නීතිමය අධීක්ෂණය යටතේ සහ වලාන දූෂණ මර්දන බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
