coconut-cutter-gehimi-kata-killed-in-casual-relationship

මිල්ලනිය පොලිස් වසමට අයත් හල්තොට, කන්නන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි විවාහක කාන්තාවකගේ ඝාතනය සම්බන්ධයෙන් 43 හැවිරිදි පොල් කඩන්නෙකු මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පී.

සුධර්මා පල්ලිය වත්තගේ නැමැති කාන්තාවකි.




පසුගිය 11 වන දින අදාළ කාන්තාව මියගොස් ඇති බවට අසල්වාසීන් විසින් දුරකථන ඇමතුමක් මගින් පොලිසියට දැනුම් දී ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කර ඇති අතර, එහිදී බැලූ බැල්මට කිසිදු සැකකටයුතු ලක්ෂණයක් පෙනෙන්නට නොතිබූ බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හොරණ දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් තිබේ. කෙසේ වෙතත්, එහිදී මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ දක්නට ලැබුණු තැලුම් තුවාලයක් හේතුවෙන් මෙය සැක සහිත මරණයක් බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඉන් අනතුරුව හොරණ මහේස්ත්‍රාත් ලක්මිණි විදාන ගමගේ මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසියට නියෝග කළාය. ඒ අනුව හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, නාසය, මුඛය, ගෙල සහ උරහිස් ප්‍රදේශය තෙරපීමකට ලක් කර ශ්වසන මාර්ගය අවහිර කිරීමෙන් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවයි.




මෙම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී, ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකාර පුද්ගලයා අතර අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ. ඒ අනුව වාද්දුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, කාන්තාව කෑගැසීම වැළැක්වීම සඳහා ඔහු විසින් ගත් උත්සාහයකදී මෙම මරණය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තවදුරටත් අනාවරණය වී ඇත. මිල්ලනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ඉන්දික මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර, සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.