
යම් දේපළක් හෝ නිවසක් විදේශ ජාතිකයෙකු වෙත කුලී පදනම මත ලබා දෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් වහාම තම ප්‍රදේශයේ පිහිටි ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලුම දේපළ හිමියන්ට පොලිසියෙන් දැඩි උපදෙස් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.
යූ. වුට්ලර් මහතා විසින් මෙම විශේෂ දැනුම් දීම සිදු කර ඇත.අද (05) දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, සංචාරක වීසා භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් විදේශිකයන් මෙවැනි කුලී නිවාසවල ලැගුම් ගෙන විවිධ අන්තර්ජාල අපරාධ සහ මූල්‍ය වංචාවන්හි නිරත වන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් සහ මෙරට සිදුවන මහා පරිමාණ මූල්‍ය අපරාධ පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව තීරණය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව විදේශිකයන් සඳහා සිය නිවාස හෝ නවාතැන් පහසුකම් සපයන පුද්ගලයින් ඉදිරියේදී මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
