රුමේනියාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කාර්යාංශයට අයත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය මැයි මස පළමුවැනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ එක්ව පුද්ගලයින් 16 දෙනෙකුගෙන් රුපියල් මිලියන 21.3 ක පමණ මුදලක් මෙලෙස වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසමින් ඔවුන් මෙම මුදල් ලබාගෙන ඇති අතර, එලෙස මුදල් ලබාගැනීමෙන් අනතුරුව අදාළ පුද්ගලයින් වෙත ව්‍යාජ රැකියා ගිවිසුම් ද ලබා දී ඇති බවට පැමිණිලිකරුවන් විසින් වැඩිදුරටත් චෝදනා කර ඇත.
මෙම ප්‍රධාන සැකකරු මීට පෙර වසර දෙකක පමණ කාලයක් රුමේනියාවේ සේවය කර ඇති අතර, එහිදී ලබාගත් අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම ජාවාරම ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමග රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් පලා ගොස් කඩුගන්නාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටියදී නිලධාරීන් විසින් සැකකරුව සොයාගෙන තිබුණි. මෙම සමස්ත විමර්ශන කටයුතු සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නිලධාරීන්ගේ ද සහාය ලැබී ඇත.
