
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගය රජයක් බලයට පත්වුවහොත් මෙරට වෙනුවෙන් ඩොලර් මිලියනයක් ලබාදීමට තම විදේශීය මිතුරන් සූදානමින් සිටින බව ප්‍රසිද්ධ ගායන ශිල්පී සංගීත් විජේසූරිය ප්‍රකාශ කර තිබුණි. මෑතකදී මාධ්‍යවේදී ලහිරු මුදලිගේ සමඟ 'හරි ටීවී' නාලිකාවේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව නැවත කරුණු දක්වමින් කියා සිටියේ එම මුදල ඩොලර් මිලියනයක් නොව පුද්ගලයන් විසිතුන් දෙනෙකු එක්ව පරිත්‍යාග කිරීමට සූදානම් වූ ඩොලර් මිලියන විසිතුනක් බවයි.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම හේතුවෙන් එම පරිත්‍යාගය මෙරටට ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බවත්, එම ගිවිසුම ප්‍රකාරව මෙවැනි විදේශීය ආධාර ලබාගත නොහැකි බැවින් මුදල් අමාත්‍යාංශය විසින් එම මුදල් ප්‍රතික්ෂේප කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.ගායන ශිල්පියා විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය පිළිබඳව විමසීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සම්බන්ධ කරගත් අතර, ඔහු අවධාරණය කරන්නේ අදාළ ප්‍රකාශයේ කිසිදු ආර්ථික හෝ සාධාරණ පදනමක් තමන් නොදකින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳව මැනවින් දන්නා පුද්ගලයෙකු වශයෙන්, එහි අන්තර්ගත වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ඉලක්ක, ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදුවන ආකාරය සහ මූල්‍ය ප්‍රතිපත්ති වැනි කරුණු පමණක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මෙරටට ලැබෙන පුද්ගලික හෝ වෙනත් ඕනෑම පාර්ශවයක පරිත්‍යාගයන් ප්‍රතික්ෂේප කළ යුතු බවට කිසිදු කොන්දේසියක් මූල්‍ය අරමුදල් ගිවිසුමේ අන්තර්ගත නොවන බව පවසන මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, එවැනි වගන්තියක් තිබේ නම් එය පෙන්වා දෙන ලෙස ද අදාළ පාර්ශවයන්ට අභියෝග කරයි. මෙරට ආර්ථිකයට සැබෑ ලැදියාවකින් යුතුව උදවු කිරීමට අවශ්‍ය නම්, රජයේ අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවල පවතින අඩුපාඩු සපුරාලීම සඳහා එම මුදල් යෙදවීමට ඕනෑතරම් අවස්ථා පවතින බවද ඔහු සිහිපත් කරයි.
රජය සම්බන්ධ කර නොගෙන වුවද, රාජ්‍ය නොවන සංවිධාන හෝ විශ්වවිද්‍යාල හරහා මෙවැනි මූල්‍ය පරිත්‍යාගයන් සෘජුවම අදාළ ක්‍රියාවලීන් සඳහා දායක කරවීමේ හැකියාව පවතින බව මහාචාර්යවරයා මෙහිදී පැහැදිලි කරයි. සුනාමි ව්‍යසනය පැවති සමයේදී මෙරට විශ්වවිද්‍යාලවල විශේෂ ගිණුම් විවෘත කර ලෝකයේ ඕනෑම තැනක සිටින අයෙකුට සෘජුවම මුදල් බැර කිරීමට අවස්ථාව සලසා දුන් ආකාරය උදාහරණයක් ලෙස දක්වන ඔහු, එම මුදල් දේශීය විශ්වවිද්‍යාල ගොඩනැඟීමට මෙන්ම රටට ලැබුණු මුදල් ලෙස නිසි පරිදි සටහන් වූ බව පවසයි.
මෙවැනි තත්ත්වයක් තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම විකෘති කරමින් සිදුකරන මෙවැනි ප්‍රකාශ සාවද්‍ය බවත්, එමඟින් රජයට මෙන්ම මූල්‍ය අරමුදලටද අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පෙන්වා දෙයි. එබැවින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය රටේ මහජනතාවට වහාම පැහැදිලි කර දෙන ලෙස තමන් මුදල් අමාත්‍යාංශයෙන් සහ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමුඛ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
