ranga-committed-suicide---post-mortem

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට තීරණය කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම නිගමනය කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ සිරුරේ ඇති සියලුම තුවාල ඔහු විසින්ම සිදු කරගත් ඒවා බව ශ්‍රී ලංකා පොලීසිය තහවුරු කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ රංග රාජපක්ෂ නමැති නිලධාරියෙකි. පසුගිය සිකුරාදා (30) කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ වැටී සිටියදී ඔහුගේ සිරුර සොයාගන්නා ලදී. පොලීසිය පවසන පරිදි, පියා ගෙවත්තේ වැටී සිටිනු මුලින්ම දැක ඇත්තේ ඔහුගේ දියණිය විසින් වන අතර, පසුව ඇය ඒ බව පවුලේ අනෙකුත් සාමාජිකයින්ට දැනුම් දී තිබේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට මළසිරුර අසල තිබී ලේ පැල්ලම් කිහිපයක් නිරීක්ෂණය වී ඇත. 

එමෙන්ම මියගිය නිලධාරියාගේ එක් කකුලක සහ අතක කැපුම් තුවාල ඇතුළු තුවාල කිහිපයක්ම දක්නට ලැබුණු බව බලධාරීහු වාර්තා කළහ. මීට අමතරව සිරුර තිබූ ස්ථානයට ආසන්නයේ තිබී කුඩා පිහියක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

මෙම මරණය ඝාතනයක් ද, සියදිවි නසාගැනීමක් ද, එසේත් නැතිනම් හදිසි අනතුරක් ද යන්න නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා පොලීසිය මුලින්ම මෙය සැක සහිත මරණයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව, කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා සිකුරාදා දින සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය. ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවිණි. භාණ්ඩාගාර මුදල් අවභාවිත කිරීමේ බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මෙම නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අතිශය වැදගත් වූ බැවින්, ඒ සඳහා සිව් පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබුණි.