how-a-group-of-students-averted-a-major-accident-after-the-driver-of-an-american-school-bus-fell-unconscious

ඇමරිකා එක්සත් ජනපදයේ පාසල් බස් රථයක රියැදුරෙකු හදිසියේම සිහිසුන් වූ අවස්ථාවකදී, එහි ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් එක්ව බස් රථයේ පාලනය සියතට ගෙන රියැදුරුට ප්‍රථමාධාර ලබාදෙමින් සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට සමත් වී තිබේ.




ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවා වාර්තා කරන පරිදි, මෙම සිදුවීම පසුගිය 22 වැනිදා මිසිසිපි ප්‍රාන්තයේ කිල්න් ප්‍රදේශය ආසන්නයේ පිහිටි 603 අංක දරන අධිවේගී මාර්ගයේදී වාර්තා වී ඇත. හතළිස් හය හැවිරිදි ලියා ටේලර් නමැති මෙම බස් රථයේ රියැදුරුවරියට හදිසියේ ඇති වූ ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස රිය පදවමින් සිටියදීම සිහිසුන් වී තිබේ. එම අවස්ථාවේදී බස් රථය තුළ අවුරුදු 11 ත් 15 ත් අතර වයස්වල පසුවන මධ්‍යම විද්‍යාලීය සිසුන් හතළිහකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇත.

රියැදුරුවරියට සිහිය අහිමි වී ඇය සුක්කානම මතට ඇද වැටෙනවාත් සමගම ක්‍රියාත්මක වූ, ඇයට පිටුපස අසුනේ ගමන් ගත් දොළොස් හැවිරිදි ජැක්සන් කේස්නෙව් වහාම ඉදිරියට පැන සුක්කානම අල්ලාගෙන මාර්ගයෙන් ඉවතට ඇදී යමින් තිබූ බස් රථය නැවතත් නිසි පථයකට ගෙන ඇත. ඉන් අනතුරුව රියැදුරුවරියට මඳක් සිහිය පැමිණ වාහනයේ වේගය අඩු කළද, අපහසුවෙන් හුස්ම ගනිමින් තම පපුවට ගසා ගත් ඇය නැවතත් සිහිසුන් වී තිබේ. එම අවස්ථාවේදී තවත් දොළොස් හැවිරිදි සිසුවෙකු වූ දාරියස් ක්ලාක් ඉදිරියට පැමිණ තිරිංග ක්‍රියාත්මක කර බස් රථය සම්පූර්ණයෙන්ම නතර කර ඇත. තිරිංග තද කිරීමේදී තමන් වාහනයේ ඉදිරිපස වීදුරුවෙන් පිටතට විසිවීමට තරම් වේගයකින් බස් රථය ඒ වන විටත් ගමන් කරමින් තිබූ බව ඔහු පසුව ප්‍රකාශ කළේය.




මේ අතරතුර ඩෙස්ටිනි කෝනේලියස් නමැති සිසුවිය රියැදුරුවරියගේ තත්ත්වය පරීක්ෂා කර ඇයට අවශ්‍ය ඖෂධ ලබා දීමට කටයුතු කර ඇත. තත්වය තවදුරටත් පාලනය කරමින් කෙරී ක්ලාක් විසින් 911 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති අතර, මැකෙන්සි ෆින්ච් විසින් පාසල් දිස්ත්‍රික්කයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබේ.

රියැදුරු ලියා ටේලර් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන්ට සිහිය පැමිණෙන විට එක් සිසුවියක් තම මුහුණට ඖෂධයක් අල්ලාගෙන හුස්ම ගන්නා ලෙස උපදෙස් දෙමින් සිටි බවයි. තම ජීවිතය මෙන්ම බස් රථයේ සිටි සියලුම දෙනාගේ ජීවිත බේරාගැනීම සම්බන්ධයෙන් ඇය එම දරුවන්ට සිය හෘදයාංගම කෘතඥතාව පළ කර ඇත. කිසිදු ජීවිත හානියකින් තොරව සිසුන් සියලු දෙනාම නිරුපද්‍රිතව තම නිවෙස් බලා ගිය බව ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලය නිවේදනය කළ අතර, කලබලයට පත් නොවී ඉතා වගකීමෙන් යුතුව කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් එම සිසුන් පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බවද බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

how-a-group-of-students-averted-a-major-accident-after-the-driver-of-an-american-school-bus-fell-unconscious

how-a-group-of-students-averted-a-major-accident-after-the-driver-of-an-american-school-bus-fell-unconscious