ජෙෆ්රි එප්ස්ටීන් විසින් මෑන්හැටන් බන්ධනාගාරයකදී ලියන ලදැයි සැලකෙන සියදිවි නසාගැනීමේ සටහනක් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ රහසිගතව නිව්යෝර්ක් අධිකරණයක සුරක්ෂිතව තබා ඇත. 2019 වසරේ ජූලි මාසයේදී එප්ස්ටීන් සිය සිර මැදිරිය තුළ ගෙලෙහි රෙදි පටියක් සහිතව තුවාල ලබා සිටියදී සොයාගැනීමෙන් අනතුරුව මෙම සටහන තමන්ට හමුවූ බව ඔහුගේ සිර මැදිරියේ සිටි අනෙක් රැඳවියා පවසා තිබේ. එම සිදුවීමෙන් එප්ස්ටීන් දිවි ගලවා ගත්තද, ඉන් සති කිහිපයකට පසු ඔහු බන්ධනාගාරය තුළ මියගොස් සිටියදී සොයා ගැනිණි.
මෙම සටහන සොයාගත් නිකලස් ටාටැග්ලියෝන් නැමැති රැඳවියාගේ අපරාධ නඩුවකට අදාළව ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් පසුව මෙම ලියවිල්ල මුද්‍රා තබා ඇත. මේ හේතුවෙන් එප්ස්ටීන්ගේ ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විමර්ශකයින්ට මෙම තීරණාත්මක සාක්ෂිය මඟහැරී තිබේ. කෙසේ වෙතත්, "සමුගැනීමට කාලය පැමිණ ඇත" යනුවෙන් සඳහන් වූ බව පැවසෙන මෙම සටහන ප්‍රසිද්ධ කිරීම සඳහා 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත පසුගියදා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
එප්ස්ටීන්ට අදාළ රජයේ විමර්ශන පිළිබඳව පෙර නොවූ විරූ තරමේ විනිවිදභාවයක් පවතින වර්තමානයක වුවද, මෙම සටහන මහජනයාගෙන් වසන් වී පවතී. දෙසැම්බර් මාසයේ සිට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට අදාළ ලේඛන මිලියන ගණනක් මුදාහැර ඇති නමුත් මෙම සටහන ඒ අතර නොමැත. එහෙත්, මෙම ලේඛන අතර ඇති පිටු දෙකකින් යුත් කාලානුක්‍රමික වාර්තාවක ටාටැග්ලියෝන්ගේ නීතිමය ගැටලුවලට මෙම සටහන පැටලුණු ආකාරය විස්තර කර ඇති අතර, ඔහුගේ නීතිඥයින් විසින් මෙය සත්‍ය ලියවිල්ලක් බවට තහවුරු කර ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.
2019 ජූලි මාසයේදී එප්ස්ටීන්ගේ ගෙලෙහි රතු පැහැති සලකුණු දක්නට ලැබුණු අවස්ථාවේදී, ටාටැග්ලියෝන් තමාට පහර දුන් බවට එප්ස්ටීන් මුලින් චෝදනා කළේය. පුද්ගල ඝාතන හතරක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරියෙකු වූ ටාටැග්ලියෝන් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, ඊට සතියකට පසු එප්ස්ටීන් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණේ තමාට ඔහු සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු සමඟ එකම මැදිරියේ සිටීම ආරක්ෂිත බවත්ය. 2023 වසරේදී වරදකරු වූ ටාටැග්ලියෝන් මේ වන විට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් හතරක් විඳිමින් සිටින අතර ඔහු තවදුරටත් පවසන්නේ තමා නිවැරදිකරු බවයි.
ටාටැග්ලියෝන් පවසන පරිදි, එප්ස්ටීන්ව වෙනත් මැදිරියකට මාරු කිරීමෙන් පසු ඔහුට මෙම සටහන හමුවී ඇත. කහ පැහැති කඩදාසියක ලියා චිත්‍රකතා පොතක් තුළ රඳවා තිබූ එම සටහනේ, විමර්ශකයින් මාස ගණනාවක් තිස්සේ පරීක්ෂණ පැවැත්වූවත් කිසිවක් සොයාගෙන නොමැති බවත්, දැන් සමුගැනීමට කාලය එළඹ ඇති බවත් සඳහන් වී තිබුණු බව ඔහු සිහිපත් කළේය. තමාට එරෙහිව එප්ස්ටීන් දිගින් දිගටම චෝදනා කළහොත් තම ආරක්ෂාව සඳහා යොදාගැනීමේ අරමුණින් ඔහු මෙම සටහන සිය නීතිඥයින් වෙත ලබා දී ඇත.
2023 වසරේ අධිකරණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ඇතුළු නිල විමර්ශන කිසිවක මෙම සටහන පිළිබඳව සඳහන් වී නොමැත. නමුත් ලේඛනගත කාලානුක්‍රමික වාර්තාවට අනුව, ටාටැග්ලියෝන්ගේ නීතිඥයින් වන බෲස් බාර්කට් සහ ජෝන් වීඩර් යන මහත්වරුන් මෙම සටහනේ සත්‍යතාව තහවුරු කිරීමට කටයුතු කර ඇත. අවසානයේදී මෙම නඩුව මෙහෙයවන විනිසුරු කෙනත් එම්. කරාස් විසින් ලියවිල්ල අධිකරණයට භාරදෙන ලෙස නියෝග කර තිබේ. ඉන්පසුව ටාටැග්ලියෝන්ගේ නීතිඥයින් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් නීතිඥ-සේවාදායක රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම ලියවිල්ල සහ ඊට අදාළ ලිපිගොනු අධිකරණයේ සුරක්ෂිතාගාර තුළ මුද්‍රා තබා තැන්පත් කර ඇත.
