
2009 වසරට පෙර තාවකාලික, අනියම් හෝ කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූ සේවකයින් දසදහසකට ආසන්න පිරිසකට මෙම මාසය තුළදී ස්ථිර පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
මෙම නව පත්වීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ, පළාත් සභා, රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත දැනටමත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
පසුගිය වසර කිහිපය පුරාවට රට තුළ පැවති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම සේවකයින්ගේ රැකියා ස්ථිර කිරීමට රජයට නොහැකි විය. කෙසේ වෙතත්, මේ වන විට ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් ඔවුන්ව මෙලෙස ස්ථිර රාජ්‍ය සේවයට ඇතුළත් කරගැනීමට තීරණය කළ බව බලධාරීහු පෙන්වා දෙති.
අදාළ අමාත්‍යාංශ චක්‍රලේඛය මගින් අනාගත බඳවා ගැනීම් ක්‍රමවත් කිරීම සඳහා ද දැඩි උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති කිසිදු පුද්ගලයෙකු ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා නොගත යුතු බවට අවධාරණය කර තිබේ.
එමෙන්ම, ඒ ඒ ආයතන සඳහා අනුමත කර ඇති සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් නව බඳවා ගැනීම් සිදු නොකිරීමට ද අදාළ බලධාරීන් සහ නිලධාරීන් වගබලා ගත යුතුව ඇත.
යම් හෙයකින් මෙම රජයේ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන අවස්ථාවලදී, ඊට අදාළ වන බලධාරියා හෝ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකවම වගකිව යුතු බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
