wolverhampton-informs-cid-to-officially-receive-the-letter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව, නිල වශයෙන් තොරතුරු ලබාගැනීමට අයදුම් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී තිබේ.




2002 අංක 25 දරන අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත ප්‍රකාරව මෙම කටයුතු සිදුකරන ලෙස දැනුම් දෙමින්, රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අදාළ උපදෙස් ලිපිය රහස් පොලිසිය වෙත යොමුකර ඇත.

ඒ අනුව, මීට පෙර තැපෑල මගින් අදාළ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් තොරතුරු, නිල ක්‍රමවේදය ඔස්සේ යළි ලබාගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගනිමින් සිටියි.




මෙම සිද්ධියට අදාළ නඩුව මේ සතියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී, නීතිපති දෙපාර්තමේන්තුව විසින් එවන ලද ලිපිය අධ්‍යයනය කර ඉදිරි පියවර සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන බව රහස් පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, අදාළ පනත යටතේ යළි ලබාගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දුන් තොරතුරු මේ වන විටත් තම භාරයේ පවතින බවද ඔවුන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.



මීට අමතරව, විමර්ශනයට ලක්ව ඇති අදාළ එක්සත් රාජධානි සංචාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් සටහන් කරගනු ලැබූ ප්‍රකාශයට අදාළ තොරතුරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබේ.